මේ වනවිට රට තුල නිර්මාණය වී ඇති ඖෂධ හිඟය හේතුවෙන් ඔසුසල් සහ රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීමේදි ඇතැම් ඖෂධ නොමැති බවට ප්‍රකාශ කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් මේ සම්බන්ධව අවධානය යොමුකරන්නැයි ඉල්ලා වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සහ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්වරුන්ගේ අත්සනින් යුතුව අමාත්‍යවරයා වෙත යොමුකල එම ලිපිය මගින් ඔවුන් දන්වා ඇත්තේ මේ වනවිට මතුව ඇති ඖෂධ හිඟය හේතුවෙන් හදිසි රෝගාබාධ සහ දීර්ඝ කාලීන රෝගාබාධ සඳහා ප්‍රථිකාර ලබන රෝගීන්ට අවශ්‍ය කෙරෙන ප්‍රථිකාර සඳහා ගැටළු මතුවිය හැකි බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ රෝගාබාද උත්සන්න වීමට පවා සෘජුව දායකත්වයක් සැපයෙන බැවින් අඛණ්ඩ ඖෂධ සැපයුමක් රට තුළ පවත්වාගෙන යාමට හැකිවන පරිදි දැනට පවත්නා ක්රමයේ අඩුපාඩු හෝ ඖෂධ සැපයීමේ දුර්වලතා සහ ඖෂධ හිඟය සම්බන්ධව අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය මේ සඳහා යොමුවිය යුතු බවයි.
එමෙන්ම වර්ථමානය වනවිට ඖෂධ මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමට ලඟා වෙමින් ඇති බැවින් බොහෝ රෝගීන් ඖෂධ මිලදී ගැනීමේදී නියමිත කාල සීමාව පුරාම ඖෂධ ලබා නොගෙන කොටස් වශයෙන් ඖෂධ ලබා ගැනීමට පෙලෙඹී ඇති බවත් මෙම තත්ත්වයද අදාල රෝගීන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමට බලපාන බැවින් අදාල නිලධාරීන් සමග සාකච්ඡා කර ජනතාවට දරාගත හැකි මිලකට ඖෂධ මිල පාලනය කරමින් මහජනතාව වෙත සහනයක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් එම ලිපිය මගින් දන්වා යවා තිබේ.
මෙම අර්බුදය පවතින ආර්ථික අර්බුදයේ ප්‍රථිපලක් ලෙස දැකිය හැකි වුවත් සාමාන්‍ය ජනතාවට අඛණ්ඩව නිදහස් සෞඛ්‍ය සේවය ලබා ගැනීමට හැකිවන පරිදි බලධාරීන් සමග සාකච්ඡා කර ඖෂධ මිල පාලනයත් නිෂ්පාදනය සහ බෙදාහැරීම කෙරෙහි රජයෙන් අවශ්‍ය කෙරෙන සහන සහ ආධාර ලබා ගැනීමට අමාත්‍යාංශ මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් මෙම හිඟ ඖෂධ අතුරින් ලංකාවේ නිෂ්පාදනය කල හැකි ඖෂද නිෂ්පාදනය ආරම්භ කිරීමද එය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් ඉහළ තත්ත්වයක පවත්වාගෙන යාම සඳහා දැනට පවතින පහසුකම් භාවිතා කරමින් කටයුතු කිරීම කෙරෙහි අමත්‍යවරයාගේ අවධානය යොමු වන්නේනම් තවදුරටත් මෙම ගැටළුව පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාව තුල පවතින සම්පත්වලින් යම් සහනයක් සහ හැකියාවත් ලබා ගත හැකි බවත් ඔවුන් සිය ලිපිය මගින් රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
