ඕනෑම අභියෝගයකට හා ඕනෑම බලවේගයකට ශක්තිමත්ව මුහුණ දී සමස්ත රට ජයග්‍රහණය කරන බවත් උතුරු නැගෙනහිර ඇතුළු පළාත් පාළන ආයතන 326 කට අත ලකුණින් තරග වැදී රටේ ජනතාව ජයග්‍රහණය කරවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාර දීමේ අවස්ථාවට එක්වෙමිනි.
පොලොන්නරුව මහ නගරසභාව ඇතුළු පළාත් පාළන ආයතන 8 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් නාම යෝජනා භාර දීම සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අතර එහි දී නම් දීම සඳහා තම නියෝජිතයින් දිස්ත්‍රික් ත්රේරීම් භාර නිලධාරි ඩබ්.ඒ.ධර්මසිරි මහතා වෙත ගිය අවස්ථාවේ පිටත රැදී සිටි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් මැතිවරණය පිළිබඳව විමසූ විට ය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
"මෙවර පළාත් පාළන ආයතන සඳහා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අත ලකුණින් තරග වදිනවා.පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාළන 8යි තියෙන්නේ.ඒ සියල්ල සඳහා අපි තරග වදිනවා.අපි පොලොන්නරුව විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.පසුගිය කාලයේ අපි පොලොනරුවේ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටියා.
මහපාරේ පෙළපාලි ගියා.මහ පාර හරස් කරලා උද්ඝෝෂණ කළා,රැස්වීම් තිබ්බා,පාර්ලිමේන්තුවේ සෑම කතාවකදී ම අදත් විසඳිිිලා නැති ගොවි ජනතාවගේ ප්‍රශ්න ගැටලු මතු කළා.මේ රටේ සිදු වී ඇත්තේ කුමක් ද කියන කාරණය අද මුලු රටම දන්නවා.අපි උතුරු නැගෙන හිර ඇතුළු සමස්ත රටේම පළාත් පාළන ආයතන 326ක් සඳහා අත ලකුණින් තරග වදිනවා.
මෙම මැතිවරණය පළාත් පාළන ආයතනවල පිරිසිදු පාලනයක් ඇති කිරීම සඳහ ජයග්‍රහණය කරනවා. අපි පක්ෂය විදිහට නීති මාලාවක් සකසනවා.ඒ නීති මාලාව අනුව වැඩ කළ යුතුයි.ඉදිිිරි මැතිවරණ ගැනත් බලාගෙන තමයි අපි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ.මැ තිවරණ කල් දැමීමක් ගැන අපට කියන්න බෑ.අපි නාම යෝජනා ලබා දුන්නා.මැතිවරණ ව්‍යාපාරය මෙතැන් සිට අපි ආරම්භ කරනවා.
එළඹෙන ඕනෑම අභියෝගයකට ,ඕනැම බලවේගයකට ශක්තිමත්ව මුහුණ දීලා අපි ජයග්‍රහණය කරනවා.මේ මැතිවරණය පොලොන්නරුවේත් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් මත් ජයග්‍රහණය කරන්න අපට පුළුවන් කම ලැබෙනවා. කුසගින්නේ ඉන්න ජනතාව,බෙහෙත් හේත් නැතුව රෝහල්වල මියයන සංඛ්‍යාව, රටේ තිබෙන අනිකුත් ආර්ථික අර්බුදය,දේශපාලන අර්බුදය, සංස්කෘතික අර්බුදය මේ සියල්ල වෙනස් කරමින් රට යහපත් කිරීම සඳහා මුල් අඩිතාලම දමන්නේ මේ මැතිවරණයෙන්.ඒ සඳහා අපට මේ පළාත් පාළන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා." යෑයි ද ඒ මහතා කීය.