නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන, ක්‍රිස්මස් දූපතේ රදවා තබා ඊයේ (18දා) උදෑසන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබුණි .
මොවුන් මීගමුව, මුලතිව්, හලාවත, උඩප්පුව, තොඩුවාව සහ මාරවිල යන ප්ප්රදේශ වල පදිංචිකරුවෝ වෙයි. මොවුන් අතරින් 35 දෙනෙකු වැඩිහිටියන් වූ අතර, තවත් 06 දෙනෙකු අවුරුදු 16 ට අඩු ළමුන් පිරිසක් විය .
මෙම පිරිස ඕස්ට්‍රේලියාව වෙත නීතිවිරෝධී ලෙස ගමන් කරමින් සිටි ධීවර යාත්‍රාව සමග එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, දින දෙකක් ඔවුන් ගමන් කළ ධීවර යාත්‍රාවේත්, තවත් දින 05 ක් ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බළකායට අයත් විශාල නෞකාවක ද රදවා තබා ගැනීමෙන් අනතුරුව, මොවුන් ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් තිබේ.
ඉන්පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊයේ උදෑසන 09.44 ට ඕස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි.- 976 දරන විශේෂ ගුවන් යානයෙන් ක්‍රිස්මස් දූපතේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස සමග 100 කට අධික ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය අසළටම ගොස් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස භාර ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර පියවර ගෙන තිබුණි .
මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට මෙම ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් තාවකාලික සංචාරක ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දී තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකුට ඕස්ට්‍රේලියානු රජය විසින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර ලබා දී තිබුණි .
පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූ අතර , මෙම විමර්ශන කටයුතු සදහා සහාය වීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ද කටුනායක වෙත එවා තිබුණි .
පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මීගමුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් මාලන් ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කළ අතර , එහිදී මෙම ශ්‍රී ලාංකිකයන් අතර සිටි 37 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමට තීරණය කළ අතර , මෙම මුහුදු ගමන සංවිධානය කිරීමට ඍජුවම දායක වූ සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කර තිබුණි.