ඓතිහාසික හල්දුම්මුල්ල සොරගුණේ දේවාලයේ බස්නායක නිලමේ වරයා විසින් සිදුකර ඇතැයි පැවසෙන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස එම නිලමේවරයාගේ ධුරය තාවකාලිකව තහනම් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇති අතර ඒ අනුව එම දේවාලයට මුද්‍රා තබා ඊට අයත් සියළු දේපළ සමඟ එහි පරිපාලන කටයුතු තම භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන ඇත.
ඌව පළාතේ දේවාල අතර වඩාත් ප්‍රචලිත ස්ථානයක් මෙන්ම වසර හාරසියයකටත් වඩා පැරණි පූජනීය ස්ථානයක් වන මෙම දේවාලය සතු ඉඩකඩම් ඉතා සූක්ෂම ලෙස හා වංචනික ආකාරයෙන් විකිණීම හා බදුදීම තුළින් අයුතු වත්කම් ඉපයීම ඇතුළු චෝදනා රැසක් අදාළ නිලමේවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇතැයි පැවසේ.
අදාළ බස්නායක නිලමේවරයා විසින් සිදුකර ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඇතැයිද මෙම වංචනික කටයුතු සඳහා තවත් නිලමේවරයෙක් සම්බන්ධ බවට තොරතුරු ඇතැයිද පවසන ගම්වාසීහු, මෙම නිලමේවරයා දේවාලයේ නඩත්තු හෝ සංවර්ධන කටයුතු නිසිලෙස ඉටු නොකළ බවටද චෝදනා කරති. පවතින තත්වය මත බොහෝ රාජකාරීකරුවන් පවා මේ වන විට දේවාලයේ රාජකාරීවලින් ඉවත්ව ඇති බැවින් එම රාජකාරී පවා කුලී පදනම මත ඉටුකරගැනීමට සිදුව ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
මීට අදාළව ලැබී ඇති චෝදනා හා පැමිණිළි සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ උපදෙස් මත බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනතේ අදාළ ප්‍රතිපාදන අනුව විමර්ශන සිදුකරන බවද එම විමර්ශන අවසන් වන තෙක් දේවාලයට අයත් සියළු චංචල නිෂ්චල දේපළ සමඟ එහි පරිපාලන කටයුතු සිය දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවද අදාළ විමර්ශන කටයුතු භාරව කටයුතු කරන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් නිමේෂ තිවංකර මහතා සඳහන් කළේය.
ඒ අනුව ඒ මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා දේවාල පරිශ්‍රයේදී මූලික පරීක්ෂණයක් සිදු කෙරුණු අතර එම පරීක්ෂණ සඳහාද අදාළ බස්නායක නිලමේවරයා සහභාගි නොවීය. එහිදී අදාළ පරීක්ෂණ අවසන් වන තුරු දේවාලයේ පිංකැට, දේව ආභරණ ගබඩාව සහ දේවාලයේ තවත් ස්ථාන කිහිපයකට මුද්‍රා තැබීමට සහකාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීහු කටයුතු කළහ.
කෙසේ වුවද මේ හේතුවෙන් දේවාලයේ දෛනික වත් පිළිවෙත් සිරිත් විරිත් ඉටුකිරීම නතර නොවන බවත් සුපුරුදු පරිදි බැතිමතුන්ට සිය පුදපූජා කටයුතු සඳහා දේවාලය විවෘතව පවතින බවත් දේවාලයේ මොහොට්ටාල නිලමේ සමන්ත අත්තනායක මහතා පැවසීය.
හාලිඇල- විජේරත්න රත්නායක