ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව 2022 වර්ෂයේ මාර්තු මාසයේ නොපැවැත්වීම නිසා එම සමුළුවේ සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීමට වැය කරනු ලැබූ රුපියල් එකොළොස් කෝටි පනස් දෙලක්ෂ හැට හතර දහස් හයසීය දහ නවයක මුදලක් (115,264,619) ශ්‍රී ලංකා රජයට ආර්ථික වියදමක් බවට පත්ව ඇති බව ඉකුත් 18 දින නිකුත් කරන ලද විගණන වාර්තාවකින් හෙළිවේ.
මෙම සමුළුව වසරක් සඳහා කල් දමන ලෙස ඉල්ලා තිබෙන අතර, ඒ සඳහා 2022 වර්ෂයේ අප්‍රේල් 16 වෙනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ ඇත. ඒ නිසා සමුළුව පැවැත්වීමට අදාළ ව 2021-2022 යන වර්ෂවලදී එතෙක් දරා ඇති වියදම අපතේ ගොස් තිබූ බව ද විගණනය මගින් හෙළි කර ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි මෙකී සමුළුවේ සත්කාරකත්වය ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලය මගින් අනුමත කර තිබුණි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට 2021 වර්ෂයේ දී අනුමැතිය ලබා දී තිබුණි.
සත්කාරක කටයුතු සඳහා අවශ්‍ය කාර්යයන් සංවිධානය කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමකට හා පිරිවැය බෙදා හැරීමේ ගිවිසුමකට එළඹ තිබූ බව ඉකුත් 18 දින විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.