HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලේ ලබාදීමේ විශේෂ සායනය විශේෂ සායනය අද (09) ඉරිදා - සේරම් පෙදෙස ,කොළඹ 10 - ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රධාන සායනයේදී,පෙරවරු 08.30 සිට පස්වරු 02.00 දක්වා සිදුකරන බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.
මෙම සායනය සෑම මසකම දෙවන සතියේ ඉරිදා එම ස්ථානයේදී පැවැත්වෙන බවද ඇය ප්‍රකාශ කලාය.මෙම ඖෂධ ලබා දීමේදී ලබාගන්නා පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරකින අතර ඔවුන්ගේ අනන්‍යතාව අන් අයට හෙලි නොවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද විදානපතිරණ මහත්මිය පෙන්වාදෙයි.
පුරුෂ - පුරුෂ ලිංගික සම්බන්ධතා වලට රුචිකත්වයක් දක්වන පිරිස, සංක්‍රාන්ති ලිංගිකයින් සහ ලිංගික ශ්‍රමය සපයන්නන් අතර මෙම ඖෂධ ලබා ගැනීමේ උනන්දුව ඉහලය.
මෙම ඖෂධය (PrEP) අනාරක්ෂිත ලිංගික ඇසුරකට පෙර ලබා ගැනීමෙන් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට HIV සම්ප්‍රේෂණය වීම 99% ක ප්‍රමාණයකින් වලක්වයි.කෙසේ වෙතත් අනාරක්ෂිත ලිංගික ඇසුරකින් වැලකීම, විශ්වාසවන්ත ඇසුරක් නොවන අවස්ථාවක කොන්ඩමයක් පැලඳීමේ පුරුද්ද තව දුරටත් අතිශය වැදගත් බවද අවධාරණය කෙරේ.