අහස උසට ගොස් තිබූ බණ්ඩාරවෙල හා ඒ අවට ප්රදේශයන්හි එළවළු මිල අද (26) වන විට සියයට පනහකින් පමණ පහත වැටී ඇතැයි එළවළු වෙළෙදුන් මෙන්ම පාරිභෝගික ජනතාවද පවසති.
බණ්ඩාරවෙල, හපුතලේ ඌවපරණගම හා අවට ප්රදේශවල සිට වැඩි වශයෙන් එළවළු තොග වෙළඳපොළ කරා රැගෙන ඒමත් වර්ෂාව අඩු වීමත් සමඟම එළවළු අස්වනු ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද එළවළු වෙළඳාමේ නිරත වූවෝ පවසති.
ගත වූ සතියේ දී රුපියල් 800-1000 ක් වූ අමු මිරිස් කිලෝවක් අද (26) වන විට රුපියල් 400 ක සිල්ලර මිලකට අලවි වූ අතර රුපියල් 800 ක් පමණ වූ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 300ක් පමණ දක්වා පහත වැටී තිබිනි.
රුපියල් 300-400 ක් වූ පිපිඤ්ඤා , රාබු, නෝකෝල් කිලෝවක මිල රුපියල් 100-150 දක්වා පහත වැටී ඇත. රුපියල් 500 ක් පමණ වූ වට්ටක්කා කිලෝවක නව මිල රුපියල් 150-200 කි.
රුපියල් 600-800 අතර පැවැති බොහොමයක් එළවළු වල සිල්ලර මිල ගනන් මේ වන විට රුපියල් 200-300 ක් දක්වා පහත වැටී ඇත.
කෙසේ වෙතත් තවමත් තක්කාලි, කැරට්, මාළු මිරිස්වල මිල පහත වැටී ඇත්තේ මද වශයෙන් වන අතර මේ වනවිට තක්කාලි කිලෝවක මිල රුපියල් 600කි.
උඩරට එළවළු මිල පහත වැටීමත් සමගම ගම්මාන වලින් රැගෙන එන පොලොස්, මෑ කරල්, වම්බටු, පලා වර්ග ආදි එළවළු වල මිලද සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.
බණ්ඩාරවෙල ප්රදේශයේ එළවළු මිල පහල වැටීමත් සමගම එම ප්රදේශවල සිට එලවළු තොග රැගෙන විත් අලවිකරන බදුල්ල, මීගහකිවුල, කන්දකැටිය, මහියංගණ ,ආදී ප්රදේශවල පවත්නා සතිපොලවල හා සිල්ලර වෙලදසැල්වල මිල ගනන්ද ගතවූ සතියට සාපේක්ෂව පාරිභෝගිකයින්ට දැනෙන මට්ටමින් අඩූවී ඇත.
එන් කේ නිශ්ශංක මීගහකිවුල