සරළ කරන ලද එකතු කරන ලැබූ අගය මත අය කරන බදු ක්‍රමය (Simplified Value Added Tax System) වෙනුවට සම්ප්‍රදායික VAT ක්‍රමය මෙම වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක කරන බවත් අන්තර්ජාතික අපනයනකරුවන් ඇතුලු ව්‍යාපාරිකයන් රැසක් රජයෙන් කරන ලද ඉල්ලීම මත නව තීරණය ක්‍රියාත්මක වන බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ අංශයේ කොමසාරිස් දිසා බණ්ඩාර මහත්මිය පැවසුවාය.
සරළ කරන ලද එකතු කරන ලද බදු ක්‍රමය සාම්ප්‍රදායික බදු ක්‍රමය වෙත පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (02) පැවති දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
සම්ප්‍රදායික ක්‍රමය තුළින් අන්තර් ජාතික වෙළඳාමේ නිරත අපනයනකරුවන්ට හිමි සහන කප්පාදු නොවන බව ද ඒ අනුව මෙතෙක් වවුචරයක් මගින් බදු ගෙවන ලද ක්‍රමය වෙනුවට මුදලින් බදු ගෙවීම සිදුවන බව ද කොමසාරිස් දිසා බණ්ඩාර මහත්මිය තව දුරටත් සඳහන් කළාය.
ඊට අමතරව කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉහළ අවදානම්, පහළ අවදානම් සහ මධ්‍යම අවදානම් වශයෙන් බදු ගෙවන ව්‍යාපාරික ආයතන කාණ්ඩ කිරීම සිදුකරන බව ද කොමසාරිස්වරිය සඳහන් කළාය.
අවදානම මත කාණ්ඩ කිරීම තුළින් පහළ අවදානම් සහිත කර්මාන්තකරුවන් ඉහළ අවදානමට පත්විම වැළැක්වීමට උපදෙස් දෙන බවත් වැට් බදු ගොනු පවත්වාගෙන යන සෑම ව්‍යාපාරිකයෙකුම බදු වාර්තා නියමිත දිනට ලබාදීම, බදු මුදල් නියමිත වාරික ප්‍රමාණයෙන් ගෙවීම ඇතුලු අදාළ නිර්ණායක සපුරාලිය යුතු බව ද කොමසාරිස්වරිය කීවාය.
වැට් බදු ක්‍රමය පරිවර්තනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුවත් කළ මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන ඩී.ජී.දිසානායක, සනත් හෙට්ටිආරච්චි, මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ කොමසාරිස් මංජුලා ලියනාරච්චි යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
දුම්බර එම්.ආර්. ප්‍රදීප්