වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් මීට වසර 10කට ඉහතදී සමූහ ඝාතනය කළ බවට වූ චෝදනාවන්ට තමන් වැරදිකරු කොට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියම කළ මරණ දඬුවම ඉවත දමා තමන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා ගොනු කළ අභියාචනය හෙට (08දා) දින පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06දා) තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එලෙස තීරණය කළේය.
2012 නොවැම්බර් මස 10වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ කැරළිකාර තත්ත්වයකින් අනතුරුව එහි රඳවා සිටි රැඳවියන් 18දෙනෙකු සමූහ වශයෙන් ඝාතනය කළ බවට තොරතුරු හෙළි වී තිබුණද, නීතිපතිවරයා විසින් මෙලෙස නඩු පවරන ලද්දේ, එහි රඳවා සිටි රැඳවියන් 08දෙනකුගේ ඝාතන සම්බන්ධයෙන් පමණි.
මහාධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරී එමිල් රංජන් ළමාහේවා චෝදනාවන්ට වැරදිකරු වශයෙන් තීරණය කර ඔහුට දඬුවම් නියම කළ අතර, ඔහු සමගම එක්ව මෙම අපරාධය කළ බවට චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංජීව මහතාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කරමින් සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තමන්ට එම මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට සම්පූර්ණයෙන්ම පටහැණි හෙයින් එම තීන්දුව ඉවත දමා සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් එමිල් රංජන් ළමාහේවා මහතා මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.
අදාළ අභියාචනා පෙත්සම හෙට (08දා) දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
බුද්ධිමාල් රුබේරු