එප්පාවල වන අලියෙකුගේ පහරදීමකින් තිදෙනෙක් මරුට
අනුරාධපුර එප්පාවල කැලේ අමුණුකොළයේදී පුද්ගලයින් දෙදෙනකුට හා හල්මිල්ලෑවේදී පුද්ගලයකුට අද (05) උදෑසන වන අලියකු සිදු කළ පහරදීමකින් එම පුද්ගලයින් එම ස්ථාන වලදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
එප්පාවල පොලිස් වසමේ අමුණුකොලය ගම්මානයේ කුඹුරු යායකදී පුද්ගලයින් දෙදෙනකුට හා ප්රියංකරගම පොලිස් වසමේ හල්මිල්ලෑව පාසල අසල නිවසක් අසලදී නිවැසියකුට අද (05) උදෑසන මෙලෙස වන අලි පහරදීම සිදු වී ඇත.
පළමුව මෙම වන අලියා හල්මිල්ලෑව තැපැල් කාර්යාලය අසල නිවසේ නිවැසියකුට පහරදී ඇත.ඔහු රංග ධර්මචන්ද්ර කුමාර දිසානායක (51) අනුරාධපුර ශීක්ෂණ රෝහල රෝහල් කම්කරුවකු ලෙස සේවය කරන අයෙකි.වන අලියකු නිවස අසලින් ගමන් කරනු දැක නිවස පිටුපස ස්නානය කරමින් සිටි තම වැඩිමල් දියණියට වන අලියා පැමිණෙන බව දැන්වීමට යාමේදී නිවස අසලදීම දියණියගේ ඇස් ඉදිරිපිටදී ඔහු වන අලියාගේ පහර කෑමට ලක්ව ඇත.ඔහු කඩිනමින් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.දියණිය කියන්නේ එවැනි වන අලියකු මින් පෙර දැක නොමැති බවයි.
එම පහරදීම සිදු කර වන අලියා හුරිගස්වැව සිට කිලෝ මීටර 02 ක් පමණ පැය භාගයක් තුළ පැමිණ කැලේ අමුණුකොලය ගම්මානයේ කුඹුරක නියර සකස් කරමින් සිටි ගොවිමහතෙකු වන දිසානායක මුදියන්සේලාගේ මංගල ප්රසාද් (48) යන අයට පහරදී ඇත.ඔහු වන අලියාගෙන් බේරීමට මීටර කීපයක් ගොවි බිම පුරා දිව ගොස් ඇති අතර වන අලියා පන්නා ගොස් පහරදීමෙන් ඔහු සිය කුඹුරු යායේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරුව වන අලියා අමුණුකොළය ගම්මානය දෙසට ගමන් කර ඇති අතර, තම වගා බිමේ කෙත් ඇළ සුද්ධ කිරීමට යතුරු පැදියෙන් යමින් සිටියදී එප්පාවල පලුගස්වැව පදිංචි නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර තාක්ෂණ නිළධාරී උදය චන්දන පලුගස්වැව (36)ට පහරදී ඇති අතර, ඔහුද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.වන අලියාගෙන් බේරීමට තම යතුරු පැදිය දමා අසල වෙල් යායට ඔහු පැණ ඇති අතර, ඔහු රැගෙන ගිය තණ කොළ කපන යන්ත්රයද අසල වැටී තිබිණි.
ගම්වාසීන් වන අලියකු ගම්වැදී ඇති බවට දැන ගෙන වන අලියා රජයේ රක්ෂිතයට පන්නා ඇති අතර, එසේ රක්ෂිතයට යමින් සිටි වන අලියා අතරමගදී තවත් යතුරු පැදියකින් පැමිණෙන ප පුද්ගලයකුට මුණ ගැසී ඇති අතර ඔහු යතුරු පැදිය දමා සැඟවී ඇති අතර, ඔහුගේ යතුරු පැදියට වන අලියා පහරදී අලාභ හානී සිදු කර තිබිණි.
පසුව ගම් වන අලියා පුද්ගලයින් දෙදෙනකුට පහරදී ඇති බව සැලවී ගම්වාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ සිදු කරයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
