එදාමෙදා තුර ඉතිහාසයේ එවරස්ට් තරණය කළ ලොව ලාබාළතම දැරිය බවට පත්වීමට 13 හැවිරිදි මලාවත් පූර්ණා සමත් වූවාය.
ඉන්දීය ජාතික දැරියක වූ පූර්ණා සමාජ පන්ති ගැන බොහෝ සිතන සමාජයක පහළම කුලයකින් පැමිණ, අවසානයේදී ලොව ඉහළම ස්ථානය කරා වාර්තාවක්ද සමග ළඟාවූයේ පසුගිය 25 වැනිදාය.
දින 52ක කාලයක් ලොව උසම කඳු මුදුන වෙත අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පූර්ණා නොසැලී පය එසවූයේ තමා පෑගී සිටින අඩු කුලයේ දාලිත් සමාජයද ඉහළට ඔසවමිනි.
කම්කරු රැකියාවන්හි නියුතු දෙමවුපියන් පවා මවිත කරමින්, අඩු කුලයේ දාලිත් දරුවන්ට ලොව ජයගැනීමට පාර කීමේ කැඩපතක් බවට අද වනවිට පූර්ණා පත්ව ඇත.
"ඇත්තටම මා එවරස්ට් තරණය කළේ මම වගේම සමාජයේ තැලී පොඩිවී පෑගී සිටින නංගිලා මල්ලිලාට ඔවුන්ගේ දෙපයින් නැගී සිටිමින් ලොව ජයගැනීමේ උත්තේජනයක් ලබාදීමටයි." බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පූර්ණා පැවසීය.
"මම වගේ අඩු කුලයේ දරුවෙකුට ලැබෙන අවස්ථා බොහොම අඩුයි. ඒ නිසා මගේ දක්ෂතාවය ලෝකයට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් සොයමින් මා කාලය ගත කළා."
ඇගේ දක්ෂතාවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයට පැමිණි පූර්ණාගේ දෙමවුපියන්ට ඒ සතුට දරාගත නොහැකි විය.
"අපේ දරුවා ලෝක වාර්තාවක් තැබුවා කිව්වාම දැනුණු සතුට කියා නිම කරන්න බෑ. ඇය දක්ෂ අධ්‍යාපනයට විතරක් නොවෙයි. ඇය ඕනෑම අභියෝගයක් භාරගන්න තරම් දක්ෂයි." ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත අදහස් දක්වමින් පූර්ණාගේ පියා කියා සිටියේය.
රජයේ සුබසාධන වැඩසටහනක් හරහා වරප්‍රසාද අහිමි දරුවන් 20 දෙනෙකු එවරස්ට් තරණයට තෝරා ගැනීමේදී පූර්ණාටද මෙම අවස්ථාව හිමි වී තිබේ. පාසල් සිසුන් 500ක් අතුරින් අවසානයේදී මේ 20 දෙනා තෝරාගෙන ඇති අතර, එහි සිටි ලාබාළ දැරිය පූර්ණාය.
ඔවුන්ට පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල කඳු තරණය පිළිබඳ පුහුණුවක් ලබාදී තිබේ.
"ඇත්තටම ආරම්භයේදී පොඩි චකිතයක් තිබුණා. නමුත් මට ලැබුණු පුහුණුව සමග ඒ චකිතය පහව ගියා. මම කිසිම අවස්ථාවක අධෛර්යයට පත්වුනේ නෑ." අඩි 29,000ක ඒ අභියෝගාත්මක තරණය ගැන ඇය සිහිපත් කළාය.
ඇය එවරස්ට් ප්‍රධාන කඳවුර වෙත පැමිණ දින තුනකින් හිම කඳු නායයෑම හේතුවෙන් නේපාල ෂෙර්පාවරු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය සිදුවීමද සැලවිය.
නමුත්, ඉන් නොසැලුණු පූර්ණාගේ කණ්ඩායම එවරස්ට් තරණය කළ අතර, පූර්ණාට පසු වයස අවුරුදු 16ක ආනන්ද් කුමාර් එවරස්ට් කඳු මුදුන වෙත පැමිණියේය.
එමෙන්ම, පූර්ණාගේ මේ ජයග්‍රහණය තවත් සුවිශේෂි වන්නේ ඔවුන් එවරස්ට් තරණයට වඩාත් අසීරු ටිබෙට් සීමාවෙන් කඳු මුදුන වෙත ළඟාවීම නිසාය.
බොහෝ දෙනෙකු වඩාත් පහසු නේපාල පැත්ත තෝරා ගත්තත්, පූර්ණා ප්රමුඛ පිරිස අභියෝගාත්මක පැත්තෙන්ම කන්ද වෙත පැමිණියහ.
මීට පෙර එවරස්ට් වෙත පැමිණි ළාබාලතම දරුවා වයස අවුරුදු 13 මාස 10ක් වන ඇමෙරිකානු ජාතික ජෝර්දාන් රොමේරෝය. ඒ 2010 වසරේදීය.
පූර්ණා රොමේරෝට වඩා මාසකින් ළාබාලය.