“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හමුවිය.
බලකායේ ඉදිරි කටයුතු හා අත්කරගත් ප්‍රගතිය අධ්‍යනය කිරීමෙන් පසු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන සංකල්ප පත්‍රිකාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය අවශ්‍ය බව බලකායේ සාමාජිකයෝ පැවසූහ.
ජාතීන් හෝ ආගමික කණ්ඩායම් වශයෙන් කිසියම් හෝ ජනවර්ගයකට වෙනයම් ආකාරයකට සැලකීම නොකළ යුතු බව ජාතික ප්‍රතිපත්තියක් ලෙස ව්‍යවස්ථාගත කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරිණ. පසුගියදා එහි කාලසීමාව 2022-02-28 දින සිට මාස 03 කාලසීමාවක් දක්වා දිර්ඝ කරන ලදී.
බලකායේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය මගින් පළ කරන දැන්වීම් අනුව විවිධ වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ ආගමික කණ්ඩායම්, විවිධ ජන කොටස්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් තැපැල් මගින්, විද්‍යුත් පණිවිඩ මගින් සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටා ඇති බලකායේ කාර්යාලයට පැමිණ ඔවුන්ගේ අදහස් වාචිකව මෙන්ම ලිඛිතව ඉදිරිපත් කළහ.
මීට අමතරව බලකායේ සාමාජිකයන් දිවයිනේ විවිධ පළාත්වලට ගොස් එම ප්‍රදේශවල ජන කොටස්, ආගමික නායකයන් ඇතුළු සාමාන්‍ය මහජනතාව ද හමුවී ඔවුන්ගේ අදහස් ලබාගත්හ.
මේ වන විට පළාත් 06ක් ආවරණය වන ලෙස ජනතා අදහස් ලබාගෙන ඇති අතර ඉතිරි පළාත් 03හි ජනතාව ද හමුවී අදහස් ලබාගන්නා බව බලකාය පවසයි.
