නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමණාකරණය කර ගනිමින් පුද්ගලික අංශය සමඟ එක්ව එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ එම ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල් යොදා නොගන්නා බවයි.
අසංවිධිත නාගරික සංවර්ධනය රටක සංවර්ධනයට සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල කරයි. එබැවින් රටේ සියලුම නගර කඩිනමින් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ භාරදූර වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ දැයක් නගන සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය - 2021/2020 වැඩසටහනට සහභාගී වු ජයග්‍රහණය ලැබු නිළධාරීන් ඇගයීම හා ජයග්‍රාහී නාගරික ව්‍යාපෘතිවලට සම්මාන පුද කිරීමේ අවස්ථාවට අද (28) සහභාගී වෙමිනි.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අනුව රට පුරා විසිරී ඇති අඩු පහසුකම් සහිත නගර 100ක් හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කරමින්, එම නගර ක්‍රමවත් ලෙස අලංකාර කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් 2020 වසරේදී මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
ඒ අනුව මෙරට සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 116ක් තෝරාගෙන මෙම සියක් නගර ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඒ අනුව එක් නගරයක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20ක මුදලක් යොදවනු ලැබිණ.
මෙලෙස වැඩ අවසන් කෙරුණු නගර 116හි පදික වේදිකා, නාගරික විවෘත භූමිවල පිහිටි කාණු පද්ධති, මගී ආවරණය හා සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික මහජන අවශ්‍යතාවයන් සංවර්ධනය කර තිබෙන බව නාගරික සංවර්ධණ අධිකාරිය පවසයි.
මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව පළමු ස්ථානය දිනාගනු ලැබුවේ අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය නගර සංවර්ධන ව්‍යාපෘතියයි. දෙවැනි ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගර සංවර්ධන ව්‍යාපෘතිය දිනාගත් අතර, කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන නගර සංවර්ධන ව්‍යාපෘතිය තෙවැනි ස්ථානය දිනාගන්නා ලදී.