එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගන්න නඩු පවරන රට ගැන තවමත් අවසන් තීරණයක් නෑ
මෙරට මුහුදු සීමාවේදී 2021.05.19 වැනි දින සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව සිදුව ඇති පරිසර හානිය සහ ඊට අදාළ වන්දි මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් 2023.03.22 වැනි දින පැවති පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් පැවති මෙම කාරක සභාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව, පරිසර හානි ඇගයීම් කමිටු විද්‍යාඥයින්, සමුද්‍ර සහ පරිසර නීති විශාරදයින්, ධීවර ප්‍රජාව සහ පරිසර සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් කැඳවා තිබිණි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුව ඇති හානියට අදාළව තක්සේරු කර ඇති ඇ.ඩො බිලියන 6.2 ක වන්දි මුදල ලබා ගැනීමේ සිවිල් නඩුව පැවරිය යුත්තේ ශ්‍රී ලංකාවේද නොඑසේනම් සිංගප්පූරුවේද යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මිය සහ මහාචාර්ය අජිත් ද අල්විස් මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් විද්වත් කමිටුවක් මගින් මෙම අනතුර නිසා හානියට ලක්වූ එක් එක් ක්ෂේත්රයන්ට අදාළව මෙම ඇ.ඩො බිලියන 6.2 කට ආසන්න තක්සේරුවක් ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
මෙහිදී අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා පවසා සිටියේ මෙම නෞකා අනතුරට අදාළව වන්දි ලබා ගැනීමට සිවිල් නඩුවක් පැවරීම සම්බන්ධ තීරණයක් ගැනීමට සාගර නීතිය ඇතුළු නීති කටයුතු සම්බන්ධ ප්රවිණ නීීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ තීරණය වූයේ නඩු පැවරීම මෙරටට සිදු කිරීම කළ යුතු බවත්ය.
එහෙත් මේ සදහා සිංගප්පූරුවේ නඩු පැවරීමට කැබිනට් අනුමතියක්ද හිමිව ඇති බවත් ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ සදහා කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය. එසේම නීතියට අනුව තවත් දින 58 ක් තුළ මෙම නඩු පැවරීම සිදු කළ යුතු බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු පෙන්වා දුන්හ.
සිංගප්පූරුවේ නඩු පැවරීම හරහා ශ්‍රී ලංකාවට යම් අවාසියක් සිදුවූයේ නම් එහි වගකීම ගන්නේ කවුරුන්ද යන්නත් මෙහිදී අවධානය යොමුවිය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් මේවන විටත් සිදුකරන ලබන වෙරළ පිරිසිදු කිරීම්, හානිපූර්ණය ගණනය ඇතුළු කටයුතු සදහා නෞකාවේ රක්ෂණ සමාගමෙන් මුදල් ලබා දීම නතර කිරීම පිළිබදවද කාරක සභාවේ අවධානය යොමුවිය.
එසේම අනතුර සම්බන්ධයෙන් සිදුවූ හානිය පිළිබද තක්සේරු කිරීම සදහා පත් කළ විද්වත් කමිටුවට කිසිදු අවස්ථාවක මෙම නෞකාව තුළට සහ ඒ අසලට යාමට අවසර ලබා නොදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට නීතිමය කරුණු නිරවුල් කර ගැනීම, විද්වත් කමිටුවට සිය පර්යේෂණ සඳහා මුල්‍ය පහසුකම් ලබා ගැනීම සහ පර්යේෂණ සඳහා නැවට ළඟාවීමට පවතින නීතිමය බාධාවන් නැතිකර ගැනීම යනාදී කරුණු වැඩිදුරටත් සමාලෝචනය කිරීම සදහා ඉදිරියේදී අදාළ පාර්ශ්ව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවට නැවත කැදවීමට ද තීරණය විය.
popular news
-
Wimal Saturday, 25 March 2023 03:01 AM
They are not sure how to divide the 10%commission yet and the delay is due to that. Kaputa is also waiting for his share.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

