එක්ස්ප්‍රස් පර්ල් වන්දියේ ඉතිරි මුදල් නෞකාවෙන් වූ හානියට අදාළ කරුණකට වියදම් කරන්න
එක්ස්ප්‍රස් පර්ල් (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් ධීවරයන්ට ගෙවීම සහ වෙරළ සංරක්ෂණය සඳහා යෙදවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ අනුව මේ වන විට ලැබී ඇති වන්දි මුදල් ප්‍රමාණය සහ ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල් ප්‍රමාණය, වෙරළ ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල් ප්‍රමාණය සහ මේ වන විට ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද මෙහිදී කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.08 පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී මෙම නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ පවරා ඇති නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පැමිණි පාර්ශ්වවලින් කරුණු විමසීම සිදු විය. එසේම ශ්‍රී ලංකාවේ නඩු පැවරීමේ ක්‍රියාවලියට පරිභාහිරව සිංගප්පූරුවේ නඩු පැවරීම සිදු වූ ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
තවද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේ සභාපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදි.
මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) අජිත් පී. පෙරේරා, රොෂාන් අක්මීමන, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, (නීතිඥ) චිත්‍රාල් ප්‍රනාන්දු, (නීතිඥ) භාග්‍ය ශ්‍රී හේරත් සහ අබූබකර් අතම්බාවා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එසේම පරිසර අමාත්‍යාංශය, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA) නියෝජනය කරමින් නිලධාරීහුද මෙම කාරක සභාව සඳහා සම්බන්ධ වී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
