එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු පිරිසක් අද (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.
ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත පැන වූ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිත කණ්ඩායම ඇගයීමට ලක් කළ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීහු රටක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පැසසුමට ලක් කළහ.
ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනය (USTR) මෙතෙක් ලබා දුන් සහාය පිළිබඳව මෙන්ම, අනාගතයේදී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගැනීමට නියමිත වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව යනු සුවපත් වෙමින් පවතින කුඩා ආර්ථිකයක් සහිත රටක් බවත් බාහිරින් එල්ල වෙන කුඩා බලපෑමක් වුව ශ්‍රී ලංකාවට විශාල ලෙස බලපෑම් සිදු කළ හැකි බවත් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන කණ්ඩායමේ අවධානයට යොමු කළ ජනාධිපතිවරයා, ඒ සියලු සාධකද සලකා බලමින් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා ඉදිරියටද සිදු කළ යුතු බව පෙන්වා දුන්නේය. එසේම සියලු තීන්දු තීරණ ගැනීමේදී දෙරටේ දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානයට යොමු කිරීම වැදගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චංග් (Julie Chung), එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන අධ්යක්ෂ (දකුණු ආසියාව) එමිලි ඈෂ්බි (Emily Ashby), සහකාර එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (දකුණු සහ මධ්‍යම ආසියාව) බ්‍රෙන්ඩන් ලින්ච් (Brendan Lynch), ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ
ආර්ථික සහ වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් (Daniel Jackson) සහ දේශපාලන-ආර්ථික උපදේශක ඇන්තනි පියර්නොට් (Anthony Pirnot) යන මහත්ම මහත්මීහුද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා
යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.


