මෙවර අ.පො.ස.උසස් පෙළ(2023/2024) විභාගයේ ඉකුත් 08 දා 13 00 පැයේ සිට 15 00 පැය දක්වා පවත්වන ලද අංක 8 දරණ කෘෂි විද්‍යාව පළමුවන ප්‍රශ්න පත්‍රයද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව අද සවස නිවේදනය කළේය.
එමෙන්ම මේ වන විට අවලංගු කර ඇති උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර වෙනුවෙන් නව ප්‍රශ්න පත්‍ර පැවැත්වීම එළඹෙන පෙබරවාරි පළමුදා පවත්වන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගයට පෙර එම පළමු ප්‍රශ්න පත්‍රයේද ප්‍රශ්න කිහිපයක් පිටවී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පැවතීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රයද අවලංගු කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
එමන්ම මීට පෙර මෙම විභාගයේ ඉකුත් 10 දා පැවැත්වූ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද එහි ප්‍රශ්න කීපයක් විභාගයට පෙර සමාජ මාධ්‍යන්හි සංසරණය වීම හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 12 දා අවලංගු කළේය.
මෙම ප්‍රශ්න පත්‍ර දෙක වෙනුවට යළි නව ප්‍රශ්න පත්‍ර පැවත්වීමේ විභාගය එලඹෙන පෙබරවාරි පළමුවනදා( 1)පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මේ අනුව පෙබරවාරි පළමුදා (1) පැය 08 30 සිට පැය 11 40 දක්වා කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයද පැය 13 00 සිට පැය 15 00 දක්වා කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයද පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින පුද්ගලික අයදුම්කරුවන්ට සිය පුද්ගලික ලිපිනයට හා පාසල් අයදුම්කරුවන්ට ඔවුන්ගේ පාසලේ විදුහල්පති වෙතද විභාග ප්‍රවේශ පත්‍රය එවන බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.