කාන්තාවක් ගමන් කළ යතුරු පැදිය පෙට්රල් නොමැතිව හුදෙකලා ස්ථානයක නතර වූ අවස්ථාවේදී උදවු කිරීමට යැයි පවසමින් පැමිණි තරුණයන් දෙදෙනකු විසින් එම කාන්තාවගේ ගෙල බැඳි ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පලා ගොස් ඇති බව තිරප්පනය පොලීසිය පවසයි.
යකල්ල, ගල්කුලම මාර්ගයේ නිරාවිය පන්සල අසල වංගුවේදී මෙම කොල්ලය සිදු වී ඇති බවද පොලිසිය කීය.
සිවලාකුලම අලුත්ගම ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් පසු ගියදා මිහින්තලය වැඳපුදා ගැනීම සඳහා යන අතරවාරයේ දී සිය යතුරු පැදියේ පෙට්රල් නොමැති වී නතර වූ අවස්ථාවේදී මෙම කොල්ල කෑම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
පෙට්රල් නොමැතිව නතර වූ අවස්ථාවේදී පැමිණිලිකාර කාන්තාව යතුරුපැදියේ කැබියේ තබා තිබූ පෙට්රල් බෝතලයක් ඉවතට ගෙන යතුරුපැදියට දැමීමට සූදානම් වූ විට වෙනත් යතුරු පැදියකින් ඇය පසු කර ගිය තරුණයන් දෙදෙනකු නැවත හරවා ගෙන පැමිණ උදව්වක් ඕනේදැයි විමසා, පසු පැදිකරු එක් වරම ගෙල බැඳි රන් මාලය සහ පෙන්ඩනය කඩා පලා ගොස් තිබූ බව අදාළ කාන්තාව සිදු කළ පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා තිරප්පනය පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.