උදයගෙන් ආණ්ඩුවට අභියෝගයක්
ආණ්ඩුවේ ඡන්ද පදනම සියයට 25ක මට්ටමට අඩුවී ඇති බවත් හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසිය.
"ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කරලා මීට සති දෙකකට පෙර ජනාධිපතිතුමාට රහස් වාර්තාවක් දුන්නා. ඒක කලේ පෞද්ගලික සමීක්ෂණ ආයතනයක්. ඒ වාර්තාවේ හැටියට ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ටත් පොඩ්ඩක් අඩුවෙන් තිබෙන්නේ. ආණ්ඩුවට කිසිම පලාත් සභාවක් දිනා ගන්න බෑ. ඒකයි ආණ්ඩුව පලාත් සභා මැතිවණය පවත්වන්න බය වෙලා තිබෙන්නේ.
කොහොමත් කිසිම කලබගෑනියක් වෙන්න කලින් 2025 මැයි පැවැත්වුණු පුංචි ඡන්දයේ දීත් මාලිමාව ගත්තේ 43%නෙ. පුංචි ඡන්දය පලාත් සභා මැතිවරණයක් වුණා නම් ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා විශ්ලේෂණයක් මම මගේ යූ ටියුබ් නාලිකාවේ කලා. ඒ අනුව පුංචි ඡන්ද ප්‍රතිඵලය අනුවත් මාලිමාව දිනන්නේ උතුරු මැද සහ බස්නාහිර පලාත් සභා විතරයි. එදාට පස්සේ තමයි රණවිරුවා සෙබලා වුණේ. උතුරට බෞද්ධයින් එන්නේ වෛරය වපුරන්න කිව්වේ. මුතු කුඩයක් කැඩෙන්න හාමුදුරුවන්ට ගැහුව්වේ. මාලිමා නායකයින්ගේ වත්කම් හෙලි වුණේ. ආණ්ඩුවේ වරදින් දිට්වා විනාශය වුණේ. ගල් අඟුරු වංචාව, ලුණු වංචාව හෙලි වුණේ. ඒ නිසා 43% දැන් 25%ට බැහැලා කියන එකට පදනමක් තිබෙනවා. අපටත් තේරුම් ගන්න බැරි කාරණය තමයි තවමත් 25%ක් ඡන්දදායකයින් මාලිමාව සමග ඉන්නේ ඇයි කියන එක විතරයි.
මේ වාර්තාව පිළිබඳ මම කියන කතාව බොරුවක් නම් වගන්ති තුනේ පනත ගෙනැවිත් පලාත් සභා මැතිවරණය පවත්වන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා. ඒ වගේම ආණ්ඩුවට පුංචි අවවාදයක් දෙන්න කැමතියි. ඡන්ද කියන ඒවා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. 2015 පවත්වන්න ඕනි පුංචි ඡන්දය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2018 දක්වා කල් දැම්මා. ප්‍රතිඵලය මොකක්ද? 2015 දී නොතිබුණු පොහොට්ටුව කියලා පක්ෂයක් 2016 දී හැදිලා 2018 පුංචි ඡන්දය දිනා ගත් එක.
2025 ඡන්දය පැවැත්තුවා නම් පලාත් සභා දෙකක් දිනන්න තිබ්බා. දැන් ඡන්ද පදනම 25%යි. තවත් අවුරුද්දක් කල් මැරුවොත් ඡන්ද පදනම 3%ටම පල්ලම් බැහැලා තිබෙන්න පුළුවන්. මතක තියා ගන්න. ලෝක ඉතිහාසයේ ඡන්ද පදනමේ දැවැන්තම කඩා වැටීමේ වාර්තාවට හිමිකම් කියන්නෙත් මාලිමාව තමයි. 2024 නොවැම්බර් මාසයේ දී මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලක්ෂ 69ක් ලබා ගත්තා. ඒක පුංචි ඡන්දයේ දී ලක්ෂ 45 දක්වා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ කියන්නේ මාස හයක් ගත වෙන්නත් කලින් ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වෙනවා. මාලිමාවේ මේ පසුබෑම මාස හයක් ඇතුලත 1/3කින් නැතිනම් 34%කින් කඩා වැටීමක් ලෙසයි වාර්තා වෙන්නේ. එතැන් සිට අවුරුද්දක් යන තැන 25% හරි ඉතිරිවෙලා තියෙන එක මාලිමා ආණ්ඩුව පැත්තෙන් සැනසිල්ලට කාරණයක් කියලයි අපිට නම් හිතෙන්නේ."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
