ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වි සිටින සියලුම අපේක්ෂකයන්ට භාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා සී.වී.විග්නේශ්වරන්ගේ පක්ෂය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ 5ක් සරසවි සිසුන් විසින් පිළියෙල කරන ලද යෝජනාවලි සන්දේශයකට එම දේශපාලන පක්ෂවල නායකයින් විසින් අත්සන් කොට ඇත.
උතුරු හා නැගෙනහිර සරසවි සිසු සංගම් විසින් එසේ පිළියෙල කරන ලද සන්දේශය මගින් දක්වා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු හා ඒ වෙනුවෙන් දිය හැකි විසඳුම් පිළිබඳවයි.
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන ඕනෑම අපේක්ෂකයෙකුගෙන් අදාළ ගැටලු වෙනුවෙන් විසඳුම් ඉටු කර ගැනීමට අපේක්ෂිත කරුණු එහි දක්වා තිබෙන අතර මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන අපේක්ෂකයා දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරනු ඇතැයිද බලාපොරොත්තුවන බවටත් එම සන්දේශයේ අන්තර්ගතව ඇත.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂය, ප්ලොට්, ටෙලෝ හා දෙමළ ජාතික ජනතා පෙරමුණ හා සී.වී.විග්නේශ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය ඊට අත්සන් තබා ඇති පක්ෂ වනවා.
කෙසේ වෙතත් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතාගේ පක්ෂය වන දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්ෂය විසින් අදාළ යෝජනාවලිය ඇතුලත් සන්දේශයට අත්සන් තබා නොමැති අතරම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනිවම පක්ෂයක් ආරම්භ කල සී.වී.විග්නේශ්වරන්ද මෙම සන්දේශය වෙනුවෙන් එක්ව අත්සන තැබිම විශේෂත්වයක් වෙයි.
මෙම සන්දේශය ඉදිරියේදි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් වෙත භාරදීමට නියමිත බවට එම දෙමළ දේශපාලන පක්ෂ නායකයින් වැඩිදුරටත් පැවසූහ.
