මුලතිව් මහේස්ත්රාත් ආර්. සර්වනරාජා මහතාගේ ඉල්ලා අස්වීමට සාධාරණයක් ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහිම එළඹෙන 20වැනිදා පූර්ණ හර්තාලයකට සහාය ඉල්ලා එම පළාත්හි දේශපාලන නියෝජිතයන් විසින් ඉල්ලීමක් කර තිබේ.
මන්නාරම, වවුනියාව සහ යාපනය දිස්ත්රික්කයන්හි දෙමළ දේශපාලන නියෝජිතයන් විසින් විශේෂ රැස්වීම් පවත්වමින් උතුරු නැගෙනහිර ස්වේච්ඡා සංවිධානයන්, සිවිල් සංවිධාන, බස්සංගම්, ත්රිරෝදරථ සංගම්, වෙළෙඳ සංගම් නියෝජිතයන්ටද මේ බව දැනුම්දෙමින් එම සංගම්වලින් හර්තාලයට සහාය ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ නියෝජිතයන් මෙන්ම වෙනත් දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද මෙම රැස්වීම් වෙත සහභාගි වෙමින් පවසා ඇත්තේ, මේ වනවිට එළඹෙන 20වැනිදාට උතුරු නැගෙනහිර පූරණ හර්තාලයක් ක්රියාත්මක කිරීම සඳහා සියලුදෙනාගේ පූර්ණ සහාය ලැබී ඇති බවයි.
එහිදී එම නියෝජිතයන් විසින් වැඩිදුරටත් පවසා සිටින්නේ, මුලතිව් මහේස්ත්රාත් ආර්. සර්වනරාජා මහතා ඉල්ලා අස් වී ඇත්තේ, තමන්ට ජීවිත තර්ජන ඇති බවත්, මේ වනවිට ඒ මහතා ජීවිත ආරක්ෂා වෙනුවෙන් විදෙස්ගතව සිටින බැවින් වහාම අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් සිදුකර ජීවිත තර්ජනයන් එල්ල කරන ලද පාර්ශ්වයන් කවුරුන්දැයි යන්න හෙළිකර නීතිය ක්රියාත්මක කරන ලෙසයි.