උත්සව සමය වෙනුවෙන් ඒකාබද්ධ දුම්රිය හා බස් රථ ප්‍රවාහන සේවාවක්
උත්සව සමය වෙනුවෙන් අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සිට පිට පළාත්වලටත් යළි අගනුවරට ඒමටත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවක් ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සියළුම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව දැනට ක්‍රියාත්මක කාලසටහන් වලට අමතරව බස් සහ දුම්රිය ගමන්වාර යෙදවීම මගින් ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසාදීමට අවශ්‍ය කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල ප්‍රකාශ කරයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (24) දින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ සභාපතිවරයා "‘නත්තල් උත්සවය, දීර්ඝ සති අන්ත නිවාඩුව, එළඹෙන නව වසර මූලික කර ගනිමින් මගී ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීමට මෙම ඒකාබද්ධ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. දුර ගමන් සේවා සහ නගර අතර ප්‍රවාහන සේවා වඩාත් සක්‍රිය කිරීමට මේ යාන්ත්‍රණය මගින් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ සියල්ල මේ සඳහා එක්කරගෙන තිබෙනවා.
දුර ගමන් සේවා බස්රථ ජාතික ගමනා ගමන කොමිසමේ නියාමනය යටතේ කඩවත, කඩුවෙල, මාකුඹුර මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකව පවතිනවා. එමෙන් ම අධිවේගී මාර්ගවලත්, මුහුදුබඩ මහාමාර්ගයේ නව සැලැස්මට අනුව බස් සේවාව ක්‍රියාත්මක වෙනවා. ගාල්ල, මාතර දෙසට ගමන්වාර 70 ක් යොදවා තිබෙනවා. මාකුඹුර පර්යන්තය, කොළඹ බැස්ටියන් මාවත, කඩුවෙල ඇතුලු ආරම්භක ස්ථාන අධීක්ෂණය කරමින් කටයුතු කරනවා. කුරුණෑගල නගරය ආශ්‍රිතව කොළඹ දක්වා අංක 5 සහ අංක 6 මාර්ග සඳහාත් කුරුණෑගල - මීරිගම දක්වා අධිවේගී මාර්ගයේ සිට කොළඹ දක්වාත් බස් රථ සේවා බලාත්මකයි.
මධ්‍යම පළාත තුළත් ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. බදුල්ල, අම්පාර ඇතුලු දුර ගමන්සේවා කොළඹ බැස්ටියන් මාවත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය කාර්ය මණ්ඩලයට අමතරව විශේෂ කණ්ඩායම් යොදවා තිබෙනවා.
එමෙන් ම කඩවත, කඩුවෙල අධිවේගී මාර්ග කාල සටහන මගී අවශ්‍යතාවය අනුව සංශෝධනය කර තිබෙනවා. කොළඹ සිට අවට නගරවලටත්, සෙසු නගරවලටත් යාමට ඒමට ශ්‍රී ලංගම බස් රථ සංඛ්‍යාව වැඩිකර තිබෙනවා.
විශේෂිත බාධාවන් නොමැති බැවින් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවලට බස් රථ ධාවනයට ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා.
මෙම ඒකාබද්ධ සේවාව එළඹෙන වසරේ ජනවාරි 05 වන දින දක්වා ක්‍රියාත්මකයි. වාර්ෂිකව ඇතිවන මෙම තත්ත්වයට මුහුණදීම සඳහා සංචරණය වන ජනතාවගේ පූර්ණ සහය ලබාදෙන ලෙසත් ඇතිවන ප්‍රවාහන ගැටළු 1955 අංකයට යොමුකරන ලෙසත් ජාතික ගමනා ගමන කොමිසම සමග සක්‍රිය සන්නිවේදනය පවත්වා ගන්නා ලෙසත් සියලු මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි (ගමනා ගමන) අසංක සමරසිංහ මහකා : ‘උතුරු දුම්රිය මාර්ගය, උඩරට, නැගෙනහිර, පුත්තලම යන දුම්රිය මාර්ගවලට ව්‍යසනයෙන් බරපතල හානි වුණා. මේ වනවිට ප්‍රතිසංස්කරණය කර අවසන් මාර්ගවල ධාවන කටයුතු ක්‍රියාත්මකව පවතිනවා. උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වාත් කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වාත් ක්‍රියාත්මකයි. මඩකලපුව දුම්රිය අද උදෑසන 5.00 සිට ආරම්භ කළා. අඹේවෙල - බදුල්ල ඉහළ සහ පහළ දුම්රිය වාර 04 ක් උඩරට මාර්ගයේ ආරම්භ කළා. 22 වන දින සිට කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දුම්රිය ධාවනය ක්‍රියාත්මකයි. මුහුදුබඩ හා ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි. මුහුදුබඩ මාර්ගයේ විශේෂ දුම්රියක් අද සහ ලබන සඳුදා මරදාන සහ මාතර අතර ධාවනයට එක්කර තිබෙනවා. හෙට (25) දින සිට කන්කසන්තුරය නගරාන්තර දුම්රිය ධාවනය කෙරෙන අතර එය ඉරිදා දිනයේත් ධාවනය නිරීමට සැලමසුම් කර තිබෙනවා.’
මෙම අවස්ථාවට එක්වූ ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා : ‘අද උදෑසන සිට මෙම ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මකයි. මේ සඳහා අමතර බස් රථ 100 ක ඇණියක් සූදානම් කර තිබෙනවා. 28, 29 දිනවල කොළඹට නැවත එන ජනතාව වෙනුවෙනුත් මේ සැලැස්ම ක්‍රියාත්මකයි. මෙම කාලසීමාව තුළ වැඩි බස්රථ ප්‍රමාණයක් යොදවා තිබෙනවා.
මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට බස් රථ හිමියන්ගේ දායකත්වය ද අත්‍යාවශ්‍ය වන අතර, අනුමත මුදල පමණක් ලබාගෙන ආරක්ෂිත රිය ධාවනයක යෙදෙන ලෙස ඉල්ලා සිටිනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

