ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බවට සැකකරන ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් සමග පුද්ගලයෙකු අද (05දා) පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , ගොරකාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු උණ්ඩ සහිත මැගසීනය රැගෙන පොලිසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයිද පැවසේ.
මැගසීනය ගෝල්ෆේස් අරගල භූමියේ රාජකාරි නියුතුව සිටි ආරක්ෂක අංශ සාමාජිකයකුගේ ගිනිඅවියකට අයත් එකක් බවට අනුමාන කරන බවත්, එහි වැටී තිබී හමුවූ බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇති බවත් සදහන් වේ.
කෙසේවුවද සැකකරුට එම උණ්ඩ සහිත මැගසීනය ලැබුන ආකාරය සහ කිසියම් අපරාධයක් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න ඇතුළු නිලධාරීන් පරීක්ෂණපවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය / පානදුර සමන් කාරියවසම් / බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ