උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් හම්බේගමුව තිඹිරියමංකඩ ප්‍රදේශයේදී ඉකුත් (06) වෙනිදා අලුයම වනජීවී නිලධාරීන් සහ දඩයක්කරුවෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරු බරපතල තුවාල ලබා ඇතැයි හම්බේගමුව පොලීසිය පවසයි.
මෙලෙස වෙඩිවැදී ඇත්තේ බලංගොඩ සඳගිරිය දියවින්න පදිංචි කරුණානායක රාජපක්ෂ පතිරණලාගේ නිහාල් විමලසිරි (46) නැමති අයෙකුටය.
හෙතෙම දැනට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. උඩවලව වනජීවි කාර්යාලයේ නිලධාරී සරත් විජේතුංග මහතා නිලධාරීන් කණ්ඩායමක් සමඟ උඩවලව සංචාරක බංගලාවේ රාජකාරියේ නිරතව සිට ඇත.
උඩවලව ජලාශයේ වැව්පිටිය දෙසින් වෙඩිශබ්ද දෙකක් ඇසී ඒ දෙසට යමින් සිටියදී ඔවුන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇත.
එහිදී වනජීවී නිලධාරියාද ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත.
ටික වේලාවකින් උදරය අල්ලාගෙන කිසියම් පුද්ගලයෙකු ඉදිරියට පැමිණ බිම වැටී ඇත. පසුව ඔහුව නිලධාරීන් සමඟ එකතුව ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුලත්කර ඇත.
සිද්ධියවූ ස්ථානය පරික්ෂාකිරීමේදී ඝාතනයකර දෙකඩකර පොහොර උර දෙකක දමා තිබූ මුවෙකුගේ මස්තොගයක්,හට්ටි මුට්ටි ඇතුළු තුනපහ සහ බෙහෙත්කොටන තුවක්කුවක් හමුවී ඇත.
සිද්ධිය පිළිබඳව හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ඩී.එම් විජේසුන්දර මහතා පරීක්ෂණ පවත්වයි.