උඩරට වතුකරය ආශ්රිත ප්රදේශවල මත්පැන් අළෙවිය සියයට හතලිහකින් පමණ පහත බැස ඇතැයි උඩරට මත්පැන්හල් හිමියෝ පවසති.
මේ හේතුවෙන් උඩරට මත්පැන්හල්වලට ගෙන එනු ලබන මත්පැන් වර්ග වැඩි දින ගණනක් මත්පැන්හල්වල ගබඩා කොට තබා තිබෙන බවත්, බියර් අළෙවියද සීඝ්ර ලෙස පහත බැස ඇතැයි ඔවුහු කියති.
බියර් අළෙවිය මෙසේ පහත බැසීම හේතුවෙන් ඇතැම් මත්පැන්හල්වල බියර් බෝතල් කල් ඉකුත්වීමේ ප්රවණතාවයක් මතුව ඇති බවත්, කල් ඉකුත් වු බියර් බෝතල් හා ටින් නැවත ඒවා ලබා දෙන ආයතනවලට හරවා යවීමට සිදුව ඇති බවද මත්පැන්හල් හිමියෝ සඳහන් කරති.
මත්පැන් වර්ගවල අළෙවිය අඩුවීමට ප්රධානතම හේතුව විශාල ලෙස මිල ගණන් ඉහළයාම බවත්, උඩරට වතුකරයේ වතු කම්කරුවන් හා අනෙකුත් පිරිස් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටීම තවත් හේතුවක් බවද මත්පැන්හල් හිමියෝ කියති.
උඩරට වතුකරය ආශ්රිත ප්රදේශවල මත්පැන් අළෙවිය මීට ඉහත ඉහළ මට්ටමක පැවැති බවත්, මේ හේතුවෙන් තමන්ගේ ආදායම් මට්ටමද දිනෙන් දින පහත බසිමින් පවතින බව මත්පැන්හල් හිමියෝ වැඩිදුරටත් පවසති.
ශාන් හුලංනුගේ