පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් සහ බදුල්ල කොළඹ පොඩිමැනිකේ දුම්රිය පිළීපැනිමට ලක් වීමෙන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (29) පස්වරුවේ යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (29) පෙරවරු 8.30ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැනිකේ දුම්රිය ගමන් ආරම්භ කර විනාඩි පහක් වැනි සුලු කාලයකදී බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය බිංගෙය ආසන්නයේදී පිළීපැනිමට ලක් වීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණ .
පොඩිමැනිකේ දුම්රියේ එන්ජිම සහ මගී මැදිරියක් පිලීපැනිමට ලක් විය..
මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) සවස් වනතෙක් හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා තබා තිබූ අතර , බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ ඇල්ල ඔඩිසි , විශේෂ සීග්‍රගාමි දුම්රිය , මහනුවර බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නියමිත වේලාවට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරිමට නොහැකි වූ බවත් දුම්රිය බළධාරීන් පැවසූහ .
කෙසේ වෙතත් පවතින අධික වර්ෂාවත් සමඟ දුම්රිය සේවකයන් අද (29) පෙරවරුවේ පටන් මහත්පරිශ්රමයක් දරා සවස් වන විට පිළීපැනිමට ලක් වූ පොඩිමැනිකේ දුම්රිය පීලීගත කර මාර්ගය යථා තත්වයට පත් කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
මේ අතර අද දහවල් (29) වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර 160/20 සැතපුම් කණුව අසලදී විශාල පස්කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට යලි බාධා සිදුව තිබිණ .
දුම්රිය සේවකයන් වර්ෂාවත් නොතකා දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස්කන්ද ඉවත් කර සවස් වන විට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .
උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරිමත් සමඟ හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා තිබූ කොළඹ බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය අද (29) පස්වරුවේ බදුල්ල බලා ධාවනය කැරිණ .
බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පැය අටක පමණ ප්‍රමාදයකින් අනතුරුව පොඩිමැනිකේ දුම්රිය , ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය , විශේෂ සීග්‍රගාමි දුම්රිය සහ මහනුවර බලා භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ගමන් ආරම්භ කළ බවත් රාත්‍රි තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්