වලංගු වීසා බලපත්රයක් නොමැතිව ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන්ට වීසා ලබාදීම සඳහා කටයුතු කිරීමට ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව එලෙස රැඳී සිටින අයගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් අද (24දා) පැවැත්විණ.
එය හෙටද (25දා) ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප්රකාශ කරයි.
ඒ අනුව අද (24දා) දිනයේ දී විශාල පිරිසක් තානාපති කාර්යාලය වෙත පැමිණ තිබේ.
ඊශ්රායල ආගමන විගමන අංශයේ අධ්යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් තිදෙනෙක් ශ්රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ වීසා නොමැතිව සිටින සාත්තු සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්රී ලාංකිකයන් සඳහා වීසා බලපත්ර ලබාදෙන ලෙස ආගමන විගමන අංශයේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.
විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන්ගේ වීසා බලපත්ර අලුත් කරන ලෙස ද ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීමට ඊශ්රායල ආගමන විගමන අංශයේ අධ්යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා එකඟ වූ බවත්, ඒ අනුව වලංගු වීසා බලපත්රයක් නොමැතිව ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන්ගේ තොරතුරු ඉල්ලා සිටි බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා ප්රකාශ කළේය.
එමෙන්ම වීසා බලපත්රය දීර්ඝ කිරීමෙන් පසු, එම ශ්රී ලාංකිකයන් සඳහා කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබා දීමටද අධ්යක්ෂ ජනරාල්වරයා එකඟ වූ බව තානාපතිවරයා පැවසුවේය.