ඉහළ කොත්මලා ජලාශය තුළ අධික ලෙස රොන් මඩ තැන්පත් ව ඇති බවත්, ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවල සිදුවන විවිධ පාරිසරික ගැටලු මෙම තත්ත්වයට හේතුවක් වී ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.
ජලාශයේ ජල මට්ටම මේ දිනවල දැඩි ලෙස පහත බැස ඇති බවත්, මේ හේතුවෙන් ජලාශය තුළ එකතුව ඇති විශාල රොන් මඩ තට්ටු දැකිය හැකි බව ඔවුහු කියති.
පසුගිය සමයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම් මත ජලාශයට ඉහළ ජල පෝෂක ප්‍රදේශවල සිදු වූ නායයෑම් හේතුවෙන් විශාල වශයෙන් රොන් මඩ එකතුව ඇති බවත්, ඊට අමතරව සෑම දැඩි වර්ෂාවක දීම ජලාශයට රොන් මඩ හා විවිධ ඝන අපද්‍රව්‍ය එකතු වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
මෙසේ දිගින් දිගටම ජලාශයට එකතු වෙමින් පවතින රොන් මඩ ඇතුළු විවිධ අපද්‍රව්‍යවලින් කොටසක් ජලාශය පතුලේ රැඳෙමින් ඇති බවත්, මේ හේතුවෙන් ජලාශයේ ඉදිරි පැවැත්මට එම තත්ත්වය දැඩි තර්ජනයක් වනු ඇති බව උඩරට පරිසර සංගම් නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
ශාන් හුලංනුගේ


