ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සිරි වූ මළසිරුරු 59ක් ගොඩට ගත් හා තවදුරටත් එම කාර්යයේ නිරතව සිටින නිර්භීත මෙන්ම මනුෂ්‍යත්වයෙන් පිරි අපූර්ව, සොඳුරු මිනිසෙකු පසුගියදා අපට තලවකැලේ දී හමු විය.
ඔහු අංක 17, රත්නිල්ලකැලේ කොටස, හොලිරූඩ්, තලවකැලේ යන ලිපිනයේ පදිංචි පලනියන්ඩි රොබට් ය. පලනියන්ඩි රොබට් නම් වූ මෙම අපූර්ව මිනිසා සිය පියාගේ අඩි පාරේ යමින් කිසිදු ආර්ථික ප්‍රයෝජනයක් නොමැති මෙම සත්කාරයේ යෙදී සිටිනුයේ ආත්ම තෘප්තිය සහ දුකක් කරදරයක් වූ ජනතාවට පිහිටුවීමේ අරමුණින් පවසයි.
ඉහළ කොත්මලේ ජලාශය සම්පූර්ණයෙන්ම පිහිටියේ විශාල ජනතාවක් දෛනිකව ගැවසෙන තලවකැලේ නගරය වටා කේන්ද්‍ර කර ගනිමින් වන අතර, මෙහි වඩාත් දුක් මුසු පුවත වන්නේ පිටස්තර ප්‍රදේශවල පුද්ගලයන් මෙන්ම තලවකැලේ අවට පුද්ගලයන් සිය දිවි හානි කර ගැනීම උදෙසා ජලාශය භාවිතා කිරීමට පෙළෙඹී සිටින බව තලවකැලේ නගර වැසියෝ සඳහන් කරයි.
සම්පූර්ණයෙන්ම ජනාකීර්ණ තලවකැලේ නගරය වටා පිහිටි ඉහළ කොත්මලේ ජලාශය 2011 වසරේ විවෘත කර වසර 15ක පමණ කාලයක් ගතව ගොස් ඇතත්, ජීවිත ආරක්ෂක නිලධාරීන් හෝ බෝට්ටු තලවකැලේ පොලිසිය සතුව නොමැති බව තලවකැලේ නගර වැසියෝ පවසති.
සිය ජීවිත අවදානම ද නොතකා ඉහළ කොත්මලේ ජලාශයට ගොදුරු වන පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩ ගැනීමේ කාර්යයේ නිරතව සිටින පලනියන්ඩි රොබට් මහතා ඒ පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“ඉහළ කොත්මලේ ජලාශය ඉදි කරපු දිනේ ඉඳන් අද දක්වාම ඊට ගොදුරු වන පුද්ගලයන්ගේ මළසිරුරු ජලයෙන් උඩට ගන්නේ මම. මේ වනවිට එහි ගිලුණු පුද්ගලයන් 59කුගේ සිරුරු මම ගොඩ අරන් තිබෙනවා. මට කලින් මගේ තාත්තා තමයි මේ වැඩේ කළේ. කොත්මලේ ඔයේ හා ඒ අවට දියේ ගිලුණු පුද්ගලයන්ගේ සිරුරු 274ක් පමණ තාත්තා ගොඩට අරන් තියෙනවා. එතකොට ඉහළ කොත්මලේ ජලාශය ඉදි කර තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් අවස්ථා කීපයක දීම පොලිසිය විසින් තාත්තා ඇගයීමට ලක් කොට තිබෙනවා”
“මම තාත්තගෙන් තමයි මේ වැඩේ කරන්න ඉගෙන ගත්තේ. තාත්තා කොත්මලේ ඔයේ ගිලුණු පුද්ගලයන් ගන්න යන කොට මාවත් එක්ක යනවා. ඒ ගිහින් මේ වැඩේට හුරු උනා. තාත්තාගේ නම පලනියන්ඩි. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. ඉහළ කොත්මලේ ජලාශයේ පුද්ගලයෙකු ගිලී අතුරුදහන් වූ වහාම පොලිසිය මට කතා කරලා එම පුද්ගලයා සොයන්න උදව් වෙන්න කියනවා. මම කිසිම ආර්ථික වාසියක් බලාගෙන නෙවෙයි මේ වැඩේ කරන්නේ. මේ වැඩෙන් මට ආර්ථික වාසියක් නැතත්, ආත්ම තෘප්තියක්, මම අදහන ආගම අනුව මට පිනක් ලැබෙනවා කියලා සිතනවා.”
“ජලාශය විවෘත කරන ලද 2011 වසරේ සිට මේ දක්වා ඉහළ කොත්මලා ජලාශයේ ගිලුණු පුද්ගලයන්ගේ සිරුරු 59ක් මම ගොඩ අරන් තිබෙනවා. කුඩා ළමුන්, තරුණ තරුණියන්, වැඩිහිටියන් ආදී හැම වයස කම පුද්ගලයන්ගේ සිරුරු ජලයෙන් මම ගොඩ අරන් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මෙතෙක් මා කිසිදු ඇගයීමකට ලක්ව නැහැ. මට මේ කර්තවය සිදු කරගෙන යාමට ආරක්ෂිත මෙවලම් ලබා දෙන්නේ නම් එය මගේ ජීවිත ආරක්ෂාවට උපකාරයක් වේවි. සත් භාවයෙන් සිදු කරන මෙම ක්‍රියාව සඳහා මම මිල මුදල් කිසිවක් ඉල්ලන්නේ නැහැ. මම පුළුවන් විදිහට බොහොම අමාරුවෙන් දරු පවුලක් එක්ක ජීවත් වෙන පුද්ගලයෙක්.”
පලනියන්ඩි රොබට් යනු ජීවිතයත් මරණයත් අතර සිට ගනිමින් අනුන් වෙනුවෙන් කිසිදු ආර්ථික වාසියක් නොමැතිව ඉහළ කොත්මලේ ජලාශයට බිලි වන පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩ ගනිමින් සිටින පුද්ගලයෙක් වන අතර, අඩුම වශයෙන් ඔහුගේ මෙම සත් ක්‍රියාව ඇගයීමට ලක් කරන්නේ නම් රොබට් මහතා හට මෙම කර්තවය තවත් ඉදිරියට සිදු කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබෙනු ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

