ඉලක්කයක් ඇතිව අධ්‍යාපන කටයුතුවල නිරතවීම මත උසස් ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිවූ බවත් තම එකම අරමුණ ඉංජිනේරු අංශයෙන් උසස් අධ්‍යාපන ලබා ඉංජිනේරුවෙකු වශයෙන් මාතෘ භූමිය සහ මෙරටෙහි ජනතාව වෙනුවෙන් සේවය කිරීම බවත් මෙවර උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයිනෙහි ප්‍රථමයා වීමට සමත්වූ ලෙසදු රන්සර කුමාරගේ සිසුවා සදහන් කළේය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා දිවයිනෙහි ප්‍රථමයා වීමට වරම් ලැබූ ලෙසදු රන්සර සිසුවා සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එලෙස ප්‍රකාශ කර සිටියේය.
වේයන්ගොඩ , ශාන්ත මරියා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති මොහු පහ වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 172 ක් ලබා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුලත්ව මෙවන් ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත්ව ඇත.
වේයන්ගොඩ , කුඹල්ඔලුව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙන දරුවා වන රන්සර කුමාරගේ සිසුවා , විෂය සහ විෂය බාහිර කටයුතුවලද නිරත වෙමින් උසස් සාමාර්ථයක් හිමිකරගෙන ඇති අතර සංගීතයට ලැදියාවක් දැක්වීම මත විද්‍යාලයේ සංගීත අංශයේ වයලීන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද කටයුතුකර තිබේ.
ලෙසදු රන්සර සිසුවා , මෙවන් උසස් ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව අප පුවත්පතට අදහස් දැක්වූයේ මෙලෙසිනි.
" උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක් මට තිබුනත් දිවයිනෙන්ම පළමු ස්ථානය ලැබේවි කියල අපේක්ෂා කළේ නැහැ. ඉතින් මේ ජයග්‍රහණය ගැන විශාල සතුටක් තිබෙන බව තමයි කියන්නෙ.
මට මෙවන් උසස් ප්‍රතිඵලයක් ලබාගැනීම හැකි වීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ මට ඉගැන්වීම් සිදු කළ සියලුම ගුරු පියවරුන්ටත් , ගුරු මෑණිවරුන්ටත් මගේ ගෞරවය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නව. ඒ වගේම මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ වේයන්ගොඩ, ශාන්ත මරියා විදුහලත් , මෙහිදී මට සිප්සතර ලබාදුන් ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ද ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනව. ඒ වගේම මාව හදා වඩා මේ තත්ත්වයට ගෙනා අම්ම සහ තාත්තාත් මේ මොහොතේ සිහිපත් කරනව. "
තමන් මෙන්ම සිය පාසල් කාලයේදී හොඳින් අධ්‍යාපන හදාරා ජීවිතය ජය ගැනීමට කටයුතු කළ යුතු බවද පැවසූ ලෙසදු රන්සර සිසුවා සිසු සහෝදර සහෝදරියන් වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ, පාසල් කාලයේදී ඉලක්කයක් ඇතිව කටයුතු කිරීම තුලින් බලාපොරොත්තු වන ජයග්‍රහණය අත් කර ගැනීමට හැකි වනු ඇති බවය. තවද මොහු කියා සිටියේ, පාසලේදී එදිනෙදා ලැබෙන දැනුම හොදින් සිතට ගනිමින් විභාග ආසන්නයේදී පසුගිය ප්‍රශ්ණ පත්‍ර අධ්‍යනය කිරීම විය යුතු බවත්ය.
මෙම සිසුවාගේ පියා , එස්.කේ.කුමාරගේ මහතා වරලත් ගණකාධිකාරීවරයෙකු වන අතර දැනට පොලිස් දෙපාර්තමේන්තු මූලස්ථානයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස සේවය කරන අතර වෛද්‍යවරියක වන මව ජී.එම්.ආර්.සේනානායක මහත්මිය මීරිගම මූලික රෝහලෙහි කටයුතු කරන්නීය.
පියා වන කුමාරගේ මහතා තම පුතාගේ ඉහළ සාමාර්ථය ගැන අදහස් දැක්වූයේ මෙලෙසිනි. " පුතා මෙවන් සාමාර්ථයක් ලබා ගැනීම පිළිබඳව ලොකු සතුටක් දැනෙනව. මෙයා කුඩා කල සිටම සැලැස්මක් ඇතිව තමයි සෑම දෙයක්ම කරන්නෙ. වර්තමානයේ හුගක් සිසුන් උසස් පෙළ හදාරන විට අවසන් වනතෙක් පාසල් පාසල් යන්නෙ නැහැ. නමුත් අපේ පුතා අවසානය දක්වාම පාසල් ගියා. "
මව සේනානායක මහත්මිය මෙලෙසින් අදහස් දැක්වූවාය. " පුතා හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක්. කුඩා කාලෙ පටන් හැමදේටම දක්ෂයි. පාසල් විෂයයන් වගේම විෂය බාහිර කටයුතුවලත් නිරතඋනා. ඉතින් දරුවගෙ මෙවන් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම ගැන තියෙන්නෙ ලොකු සතුටක්. "
මෙම සිසුවාගේ ඉහළ සාමාර්ථය සම්බන්ධයෙන් බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ජගත් රෝහණ ජයකොඩි මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මෙම ජයග්‍රහණය පිළිබඳව සතුටට පත් වන බවත් මේ වෙනුවෙන් ශක්තිය ලබා දීම සිදු කළ සියලුම ගුරු භවතුන්ට වගේම දරුවාගේ මවට , පියාටත් සුභ පතන අතර සිසුවාගේ ඉදිරි අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්ථනය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත්ය.
ලෙසදු රන්සර කුමාරගේ සිසුවාගේ වැඩි මහල් සොහොයුරා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයෙන් සරසවි අධ්‍යාපනය ලබන අතර බාල සොයුරා , ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 13 ශ්‍රේණියෙහි ඉගෙනුම ලබයි.
ගම්පහ තිලකරත්න දිසානායක
