ඉරානයේ යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
දින හතක් ඇතුළත වාණිජ නෞකා සඳහා හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීමේ යෝජනාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් ඇමරිකානු සාකච්ඡාකරුවන්ගෙන් ලැබෙන නිල ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බව ඉරානය ප්‍රකාශ කළේය.
ටෙලිග්‍රාම් පණිවිඩයක් මගින් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ට්‍රම්ප්ගේ එම ප්‍රතික්ෂේප කිරීම පිළිගත් නමුත්, ජනාධිපතිවරයා මීට පෙර පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කර ඇති බවට චෝදනා කළේය.
මීට පෙර, ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ට්‍රම්ප් පැවසුවේ ටෙහෙරානයේ යෝජනාව "පිළිගත නොහැකි" බවත්, ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බැවින් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමේ ගිවිසුමකට එළැඹීමට තමන්ට අවශ්‍ය බවත්ය.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිකුරාදා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අරග්චි පැවසුවේ, දෙරට අතර "අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම්" එකඟතාවකට පැමිණිය හැකි බවයි.
සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා වන කොන්දේසි, ජූනි මාසයේදී ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර තිබූ කොන්දේසිම බව අරග්චි සඳහන් කළේය.
පසුගිය සතියේ නිව් යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති සාකච්ඡා අතරතුර, සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ සතුරු ක්‍රියා අවසන් කිරීම පිළිබඳව කරුණු මතු කළ බව ඉරානය පැවසීය.
ලෝකයේ ගෑස් සහ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ සාමාන්‍යයෙන් ගමන් කරන මෙම අතිශය වැදගත් ජල මාර්ගය, පෙබරවාරි මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රායෝගිකව වසා දමා ඇත.
"මම ඔවුන්ගේ ගිවිසුම ප්‍රතික්ෂේප කරනවා," යැයි පැවසූ ට්‍රම්ප්, එම සමුද්‍ර සන්ධිය හරහා "විශාල තෙල් ප්‍රමාණයක්" ගමන් කරන බැවින් ඒ පිළිබඳව ඇමරිකාවට දැනටමත් "සම්පූර්ණ පාලනයක්" ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
ට්‍රම්ප් "හොඳ ප්‍රකාශ මෙන්ම පරස්පර විරෝධී ප්‍රකාශ ද බොහෝමයක් සිදු කර ඇති අතර, අවාසනාවකට මෙන් අපට එවැනි දේ නිතර අසන්නට ලැබේ" යැයි අරග්චි ටෙලිග්‍රාම් පණිවිඩයේ සඳහන් කළේය.
"අවසාන ස්ථාවරය අප වෙත දැනුම් දෙන තෙක් අපි මැදිහත්කරුවන්ගෙන් බලා සිටින අතර, ඒ මත පදනම්ව අපි තීරණයක් ගන්නෙමු," යැයි අරග්චි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

