ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට පුත්තලම දිස්ත්රික්කයේ මුහුදු යන ධිවරයින් රැගෙන එන සාලයා,සුඩයා මාළු කිලෝව රුපියල් 700 ක මුදලකට වෙරලේ අලෙවි කරන අයුරු දැක ගත හැකිවිය.
මේ වන විට තමන්ට ඉන්ධන මිල දරා ගත නොහැකි බවත් ඒ හේතුවෙන් මාළු මිළ වැඩි කිරීමට සිදුව ඇති බව කල්පිටිය,හලාවත,හා මාරවිල, ඉරණවිල,කන්දතොඩුවාව ඇතුළු මුහුදු රැකියාවේ නිරත ධිවරයින් පවසති.
මේ හේතුවෙන් සාලයා සහ සූඩයා මාළු කිලෝ ග්රෑම් එකක මිල රුපියල් 700ක් වන අතර මීට අමතරව හුරුල්ලා කිලෝ එකක් රුපිය ල් 800 කි. බලයා කිලෝ ග්රෑම් එක රුපියල් 1200 ක්, කෙලවල්ලා කිලෝ එක 1800 ක් ආදී වශයෙන් සෙසු මාළු වල මිල ද විශාල ලෙස වැඩිවී ඇත.
සූඩයා සහ සාලයාගේ මිල ඉතිහාසයේ අන් කවර දා වත් මෙලෙස වැඩි වී නොමැති බවත් එය වැඩිම මුදලක් ලෙස රුපියල් 150 ක මුදලකට වෙරළින් ලබා ගැනිමට හැකිවුවද මේ වන විට මෙම මසුන්ගේ මිළද අහස උසට ගන්න ගොස් තිබිම දරා ගත නොහැකි බව මාළු පරිභෝජනය කරන පිරිස් පවසති.
කෙසේ වෙතත් මේ වන විට භුමිතෙල් භාවිතා කරමින් මසුන් මැරිම සදහා මුහුදු ගිය බොහෝ ධීවරයින් තෙප්පන් හා වල්ලම් භාවිතා කිරීමට කටයුතු කරන ආකාරය දැක ගත හැකි විනි.
ධීවරයින් පවසන්නේ ඉන්ධන ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස හා ඉන්ධන සහනයක් ලබා දීමට කටයුතු කරන බව කියා සිටියද තවමත් ක්රියාත්මක නොකිරීම නිසා එයද පෙර පරිදි ධීවර ජනතාව මුළා කිරීමක් බවද ධීවරයන් චෝදනා කරති.
මීට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් ඉදිරි සති කීපය තුළ ධීවර යාත්රා ධීවර වරායවල් වලට සහ තොටුපොළ වලට පමණක් සීමා වීම වලක්වාලීමට නොහැකි බව ධීවරයින් පවසති.
