බොරතෙල් නොමැති වීම නිසා යළිත් වතාවක් හෙට (24දා) සිට පිරිපහදුව වසා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුව තිබෙන බවත්, බොරතෙල් ගෙන්වා පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලධාරීන් කිසිදු උනන්දුවක් නොදක්වන බවත් තෙල්, විදුලි, වරාය සමගි වෘත්තිය සමිත සන්ධානය සඳහන් කරයි.
බොරතෙල් ගෙන්වීමේදී විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට නොහැකි බවත්, එහෙත් ඉන්ධන මිලදී ගැනීමේදී විශාල කොමිස් මුදල් හිමිවන නිසා බලධාරීන් වැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ ඉන්ධන මිලදී ගැනීමට බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
පිරිපහදුව වසා දමා අඛණ්ඩව වැඩි මිලට ඉන්ධන ලබාගැනීම කුමන්ත්‍රණයක් බවත්, මීට අමතරව ඉන්ධන නැව් හා බොරතෙල් නැව් හදිසි මිලදී ගැනීම යටතේ මෙරටට ලබා ගැනීමට හා මෙරටට ගෙන්වන නැව් මුහුදේ නවතා තබාගෙන දින ගණනන් ප්‍රමාද ගාස්තු ගෙවීමට යම් පිරිසක් කැමැත්තක් දක්වන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී ක්ෂණික මිලදී ගැනීම යටතේ වැඩි මිලට ඉන්ධන ලබා ගැනීම, ප්‍රමාද ගාස්තු වශයෙන් නැව්වලට මුදල් ගෙවීම සහ වැඩිපුර නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවීම නිසා රටට ඩොලර් මිලියන 68කට ආසන්න මුලදක් අහිමි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මෙම මුදලින් ඩීසල් මෙට්‍රික්ටොන් 60,000ක් හෝ බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව තිබූ බවද ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
බොරතෙල් පිරිපහදු කිරීම තුළින් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, දැවිතෙල් ඇතුළු නිෂ්පාදන 08ක් ලැබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.