ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, යාපනය කන්කසන්තුරය වරායේ සිට මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකල කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එහි මගී ප්‍රවාහන පර්යන්තය හා පහසුකම් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීම අද දින (2023 ජුනි 16) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් නාවික හමුදාවෙන් සිදුකල ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත කන්කසන්තුරය වරායේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ කටයුතු නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් 2023 පෙබරවාරි මස 01 වන දින ආරම්භ කෙරිණි.
එම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සේවය මඟින් ප්‍රවාහන පහසුකම් ලබා ගන්නා දෙස් විදෙස් මගීන්ගේ ආගමන විගමන කටයුතු සහ රේගු නිෂ්කාෂණ කටයුතු සඳහා අවශ්‍ය මගී පර්යන්තයක් ඉදිකිරීම මෙන්ම ජැටියේ අළුත්වැඩියා සහ නවීකරණ කටයුතු ඇතුළු අනෙකුත් පහසුකම් ස්ථාපනය කිරීම නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරුනු අතර, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සිවිල් ඉංජිනේරු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කඩිනමින් වැඩ අවසන් කළ කන්කසන්තුරය වරායේ මගී ප්‍රවාහන පර්යන්තය සහ අනෙකුත් පහසුකම් මෙහෙයුම් කටයුතු සඳහා මෙලෙස අද දින (2023 ජුනි16) විවෘත කිරීම සිදුකෙරුණු අතර, ඉන්දියාවේ සිට කන්කසන්තුරය වරායට පැමිණි “MV Empress” නැමැති පළමු සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ කපිතාන් ඇතුළු මෙහෙයුම් කාර්යය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා එක්විය.




