ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2022 යල කන්නය හා 2022/23 මහ කන්නයේ පොහොර සැපයීම සම්බන්ධව අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීම සම්බන්ධව පසුගියදා පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම යුරියා පොහොර තොගය ඉන්දීය රජය විසින් එම රටේ වී හා බඩඉරිඟු වගාව සඳහා ඕමාන් රටෙන් ඇණවුම් කරන ලද්දකි. එමනිසා මෙම පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාව සඳහාත් ලබා දීමට පියවර ගෙන ඇත. එමෙන්ම ලබන මස 06 දින යුරියා පොහොර තොගය ලැබුනු පසු දින කිහිපයක් තුළ ඒවා රටපුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත බෙදා දීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පැවසීය.
හැම නිලධාරියෙක්ම, හැම ආයතනයක්ම පොහොර බෙදා හැරීමේ වැඩ පිළීවෙළ සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. කිසිදු අක්‍රමිකතාවයක් සිදු නොවීමට වග බලා ගැනීම නිලධාරින්ගේ වගකීමක්. කිසියම් වගකිව නිලධාරියෙක් මගින් යම් අක්‍රමිකතාවයක් සිදු වන බවට වාර්තා වුවහොත් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා යැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.