ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28දා) සවස් කාලයේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් විසිහතර දෙනෙකු යාපනය, කරෛයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා පහ සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිහතර දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.