ඉන්දියාවේ විසංජම් හා ලංකාවේ හම්බන්තොටින් කොළඹට දැඩි තරගයක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් මෙහෙයුම් ප්‍රගතිය, සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරි ගමන, 2026 වර්ෂයට අදාළ මූල්‍ය කාර්යසාධනය, මීට පෙර කාරක සභාව විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ 2024 වාර්ෂික වාර්තාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ඒ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීය.
එහිදී පසුගිය මාස හය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වාර්තා කර ඇති මූල්‍ය ප්‍රගතිය සහ ලාභදායීත්වය සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර, එම ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම කොළඹ වරාය මුහුණ දී සිටින කලාපීය සහ දේශීය තරඟකාරීත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි. ඉන්දියාවේ විසිංජම් (Vizhinjam) වරායේ වර්ධනය, ලෝකයේ ප්‍රධානතම නැව් සමාගමක් වන MSC (Mediterranean Shipping Company) ආයතනය එම වරාය වෙත ආයෝජනය කිරීම සහ හම්බන්තොට වරායේ ධාරිතාව ඉහළ නැංවීමේ සැලසුම් හේතුවෙන් කොළඹ වරායට එල්ල වී ඇති තරඟකාරී බලපෑම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී.
එසේම, කොළඹ වරායේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, ඒවා ප්‍රමාද වීමට හේතු වූ කරුණු, ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලියේ ඇති වූ ගැටලු මෙන්ම එම ප්‍රමාදයන් හේතුවෙන් රජයට සිදුව ඇති මූල්‍ය බලපෑම් පිළිබඳව ද කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.
මෙහිදී ප්‍රමාදයන්ට හේතු වූ කරුණු සම්බන්ධයෙන් නිසි විගණනයක් සිදුකර වගකිවයුතු පාර්ශ්ව හඳුනාගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළ අතර, අනාගතයේ මෙවැනි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කාර්යක්ෂම ප්‍රසම්පාදන හා ව්‍යාපෘති කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.
හම්බන්තොට, ගාල්ල සහ කන්කසන්තුරය ඇතුළු ප්‍රාදේශීය වරායන් සංවර්ධනය කිරීම, ඒ ආශ්රිත යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ දේශීය ඉදිකිරීම් සමාගම්, උපදේශකයන් සහ තාක්ෂණික වෘත්තිකයන්ගේ දායකත්වය වැඩිදියුණු කරමින් දේශීය ධාරිතාව වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
අවසානයේදී, වරාය අධිකාරියේ ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම, ආයතනික වගවීම හා විනිවිදභාවය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතනයක් ලෙස එහි කාර්යක්ෂමතාව හා ලාභදායීත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කාරක සභාව අවධාරණය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

