ඉදිරි වසර දෙකේදී වැට් බදු අඩුකරනවා
ඉදිරි වසර දෙක තුළදි වැට් බදු අඩුකරමින් ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවත් 2027 වන විට රාජ්‍ය සේවකයන්ගෙන් වැටුප් වැඩි කිරිම වෙනුවෙන් රුපියල් බිලියන 330 ක වැය බරක් දැරිමට සිදුවන බවත් ජනපති අනුර කුමාර දිසානයක මහතා පැවැසිය. නව ග්‍රාමනිලධාරී පත්වීම් ලබාදීම වෙනුවෙන් ඊයේ (08දා) පැවැති උත්සවයකදී ජනපතිවරයා මේ බව කීවේය.
රාජ්‍ය සේවයට අවශ්‍ය කැබ් රථ 1,750ක් හඳුනාගෙන ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය වාහන ඉක්මනින් ලබා දීමට කටයුතු කරනවා. ඩිජිටල්කරණයට අවශ්‍ය පරිගණක සහ අංගඋපාංග ප්‍රමාණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ලබා දීමට කටයුතු කරනවා.
රාජ්‍ය ආයතන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒ වගේම අලුතින් ගොඩනැගිලි ලබා දිය යුතුයි. ඒ අනුව සෙත්සිරිපාය 3 වෙනි අදියර අවසන් කිරීමට සහ 4 වෙනි අදියර ආරම්භ කිරීමට අයවැයෙන් මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි භූමිය කළමනාකරණය කර ගත යුතුයි.
එහිදි ලොකු ගොඩනැඟිලිවලට අප තුළ තිබෙන කැමැත්ත වෙනස්කර ගත යුතුයි කියා මම විශ්වාස කරනවා. එබැවින් කාර්යාල සඳහා කොපමණ ඉඩ පහසුකම් අවශ්‍යද, එම නියමිත භූමි ප්‍රමාණයන් පිළිබඳ විධිමත් සංගණනයක් සිදු කර, කාර්යාල පහසුකම් සැකසීමේ වගකීම ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී වෙත පවරා තිබෙනවා.
අපේ රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් තල ප්‍රමාණවත් නැති බව මම පිළිගන්නවා. ඒ නිසා ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, නීති නිලධාරීන් වැනි දක්ෂ වෘත්තිකයන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දුෂ්කරතාවයක් පවතිනවා. හැබැයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10කින් වැඩි කළහොත් මාසයකට රුපියල් මිලියන 13ක අමතර වැයබරක්ද, රුපියල් 100කින් වැඩි කළහොත් බිලියන 1.3ක වැයබරක්ද ඇති වෙනවා.
එම නිසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි කරමින් එහි ප්‍රමාණය කුඩා කළ යුතුයි කියා අපි හඳුනාගෙන තිබෙනවා. එහිදී කිසිසේත් අපි රාජ්‍ය සේවය අත්හරින්නේ නැහැ. රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය වන අතර, එය දියුණු කළ යුතුයි යන්න අපේ ප්රතිපත්තියයි. හැබැයි මේ සේවය ලබා දීමට සිටින යාන්ත්‍රණය තව කුඩා විය යුතු බව අපි විශ්වාස කරනවා.
ඒ අනුව අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගත් ආයතන 33ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන්දි දීමනාවක් ලබා දීමට අපි තීරණය කර තිබෙනවා. ඒ වගේම ඒකාබද්ධ කළ යුතු ආයතන රැසක් හඳුනාගෙන තිබෙනවා. ජනතාවට රාජ්‍ය සේවය බරක් නොවිය යුතුයි. හැබැයි අපි ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදිය යුතු බව පිළිගත් ආණ්ඩුවක්.
ඒ නිසා රාජ්‍ය සේවය ඉතා හොඳින් කළමනාකරණය කිරීමට නම් මෙය තවත් කුඩා විය යුතුයි. හොඳ දක්ෂතා සහිත කණ්ඩායම් ගෙන ඒමට නම් යහපත් වැටුප් තලයක පිහිටුවිය යුතුයි.
අපි පළමු අයවැය ලේඛනයෙන්ම අදියර තුනකින් රාජ්‍ය සේවකයන්ගේ මුලික වැටුප වැඩි කිරීමට තීරණය කළා. ඒ අනුව 2027 වන විට වැටුප් වැඩි කිරීමට පමණක් රුපියල් බිලියන 330ක වැය බරක් දරනවා. අපි අනෙක් දීමනා පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ඉන් පසුවයි. මම හිතන්නේ මෙහිදී සියලු දෙනා සාධාරණ විය යුතුයි. අපි හොඳ මූලික වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා.
ඒ වගේම ග්‍රාම නිලධාරී දීමනා ඉහළ නංවා තිබෙනවා. කාර්යාල දීමනාව රුපියල් 1,000 සිට රුපියල් 2,000 දක්වා වැඩි කර තිබෙනවා.නිල ඇඳුම් දීමනාව රුපියල් 5,000 සිට රුපියල් 15,000 දක්වා වැඩි කර තිබෙනවා. ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමේ දීමනාව රුපියල් 1,500 සිට රුපියල් 3,000 දක්වා වැඩි කර තිබෙනවා.
මෙම නොවැම්බර් 12වෙනිදා අපි ඊළග අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා. එම අයවැය ලේඛනයේදී අපි සලකා බලන්නේ 2027 වසරේ මූලික වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 330 තුලනය කර ගන්නේ කොහොමද කියලයි. ඉන්පසුව තමයි දීමනා සඳහා කොපමණ වැය බරක් දැරිය හැකිද කියා අවධානය යොමු කරන්නේ.
රාජ්‍ය සේවයට සාධාරණ වැටුපක් ලැබිය යුතු බව මම පිළිගන්නවා. හැබැයි මේ වැටුප් ලබා දෙන්නේ ජනතාවගේ බදු මුදල්වලින්. මේ බදු ප්‍රතිශත අඩු කිරීමේ ඉලක්කයක් ඇතිවයි අපි වැඩ කරන්නේ. ඉදිරි වසර දෙක තුන ඇතුළත වැට් බදු (VAT) බදු ප්‍රතිශතයන් අඩු කරමින් ජනතාවට සහන සැලසීම අපගේ ඉලක්කයයි. ළමයෙක් පොතක් අරගෙන කියවන විට බද්දක් ගෙවිය යුතුද, අපි එය ඉවත් කළ යුතුයි.
එම ඉලක්කයන් සමග තමයි වියදම් කළමනාකරණය කරගත යුතු වන්නේ. අපි ඉතා හොඳ මූලික වැටුප් වැඩිවීමක් සිදු කර තිබෙනවා. ඇහුම්කන් දෙමින් දීමනා වැඩි කර තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමු. අපි කිසිසේත් රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. අපිට මේ රට පිළිබඳ සුබදායී බලාපොරොත්තුවක් තිබෙනවා. එහිදී අපේ රාජ්‍ය සේවයට විශාල වගකීමක් තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

