ඉතාලි හා ලංකා රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගනියි
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ගිවිසුම අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට 2011 වසරේදී එළඹ ඇති අතර, 2021 වර්ෂයේදී එම ගිවිසුමේ වලංගු කාලය අවසන් වී ඇත.
එම ගිවිසුම යාවත්කාලීන කරමින් තාක්ෂණික සංශෝධන ඇතුළත් කර නැවත බලාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ තිබේ.
වසර 06කට අඩු කාලයක් ඉතාලියේ පදිංචිව සිටින සහ ඉතාලි පදිංචිය ලබා ගැනීමට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම මඟින් ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ පදිංචි ඉතාලි ජාතිකයන්ට සිය වලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර බවට බලාත්මක කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම එකී ගිවිසුමේ විධිවිධාන පරිදි සිදු කරනු ඇත.
ඒ අනුව, රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුමකට අත්සන් තැබීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

