ගොවීන්ට සහනාධාර යටතේ ලබාදීමට රජයේ පොහොර ලේකම් කාර්යාලය අවසර මත යූරියා පොහොර ආනයනය කළ පෞද්ගලික සමාගම් ගොවීන්ට එම පොහොර ලබා නොදී කර්මාන්ත කටයුතු සඳහා පෞද්ගලික සමාගම්වලට ව්‍යාජ ලේඛන සකසා වැඩි මිලට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
නිසි අයුරින් ගොවීන්ට පොහොර නොමැතිවීම හේතුව සම්බන්ධයෙන් සොයා බලන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 වසරේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍රසිරි මහත්වරුන් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුව වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරම අනාවරණය වී ඇත.
පෞද්ගලික සමාගම් දහහතක් සහ රජයේ සමාගම් දෙකක් ඇතුළු සමාගම් දහ නමයකට ගොවීන්ට පොහොර ලබාදීම සඳහා පොහොර ආනයනය කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය අවසර ලබාදී තිබිණි.
2018 වසරේ අප්‍රේල් මාසයේ සිට රජයේ සහනාධාරය යටතේ වි වගා කරන ගොවීන්ට යූරියා පොහොර මිටියක් රුපියල් 500 කට දඅනෙකුත් වගාවන් සඳහා කිලෝ 50 පොහොර මිටියක් රුපියල් 1500 මිලකටද බෙදාහැරීමට කටයුතු යොදා තිබිණි.
එයින් ඇතැම් පොහොර සමාගම් කෘෂිකාර්මික නොවන කර්මාන්ත කටයුතු සඳහා ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් දෙකකට මෙන්ම පොල්කටු අඟුරු යොදා නිෂ්පාදනය කරන ආයතන තුනකට, අත්වැසුම් නිෂ්පාදන ආයතනයකට යූරියා අධික මුදලකට ලබාදී ඇති බවට හෙළිවී වී ඇත.
ඊට අමතරව පොහොර ගෙන්වු එම සමාගම් එම යුරියා පොහොර ගොවීන්ට ලබාදුන් බවට ජාතික පොහොර ලේකම් කාර්යාලයට සහනාධාර මුදල් ලබාගැනීම සඳහා වාර්තා ද ඉදිරිපත් කර ඇති බවට විමර්ශන වල දී අනාවරණය වී ඇත.
ඊට අමතරව පොහොර ගෙන්වන සමාගමක් ලෙසට ඩුබායි රටේ පිහිටා ඇති සමාගමකට ජාතික පොහොර ලේකම් කාර්යාලය සමඟ එකතු වී සහනාධාර මුදල් හිමි නොවන ආයතනයක් ලෙස පැවතිය ද ඔවුන්ට සහනාධාර මුදල් ලබාදීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරීන් පිඹුරුපත් සැකසීමේ උත්සාහයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයත් සමග වැළකී ගොස් ඇති බවද ආරංචි මාර්ග පවසයි.
මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් කැඳවීමත් සමඟ ම එහි අභ්‍යන්තරයේ විවිධ ගැටුම් පැන නැගී ඇති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි