මීට මාස දෙකකට පෙරදී ඇඹිලිපිටිය කණමැදිආර එළිමහන් සිර කඳවුරෙන් පලාගොස් සිටිය දී දිනකට පමණ පසුව අත්අඩංගුවට පත් හතළිස් අට හැවිරිදි සැකකරුගේ මරණය මිනීමැරුමක් බවට වෛද්‍ය නිගමනය වී ඇති නිසා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය නියෝග කළාය.
මියගොස් තිබුණේ කන්දෙවත්ත, කඩවිදිය, කනංකේ, උඩගේ හංදිය ලිපිනයැති ලලිත් චමින්ද හෙට්ටිගේ නැමැති හතළිස් අට හැවිරිදි අයෙකි. දිවා කාලයේ නිවසක් බිඳ දේපල සොරාගැනීමේ චෝදනාවක්ට වරදකරු වී මාතර අධිකරණයෙන් වසර හතරයි මාස හතරක සිරදඬුවම් නියම වී එම දඬුවම විඳිමින් සිටියේ කණමැදිආර එළිමහන් සිර කඳවුරේය. මියගිය රැඳවියා පසුගිය ජනවාරි 13 දින මධ්‍යහනයේ කණමැදිආර එළිමහන් සිර කඳවුරෙන් පළාගොස් තිබුණ බවත් පසුදින එනම් 14 උදෑසන කණමැදිආර ප්‍රදේශයේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව අල්ලාගත් බවත් බන්ධනාගාර නිලධාරීහු පොලිසියට පවසා තිබුණි.
පසුව මෙම රැඳවියා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත එදින (14දා) දහවල් ගෙන යද්දී පපුව රිදෙන බව අතරමගදී පැවසීම නිසා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර තිබුණි. රෝහලට ඇතුළත් කළ රැඳවියා පැයකට පමණ පසු මියගොස් තිබුණි. සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට කරාපිටිය රෝහලට යවා තිබුණි. අධිකරණ වෛද්‍ය විශේෂඥ යූ.පී. ජයරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණ නියෝග අනුව සිරුර 15දා පවුලේ ඥාතීන්ට බාරදී තිබුණි.
මහේස්ත්‍රාත්වරිය එළිමහන් සිරකඳවුර සහ මියගිය සැකකරු අත්අඩංගුවට ගත් බව කියූ ස්ථානය ද නිරීක්ෂණයට ලක්කරනු ලැබීය.
පසුගිය 09දා මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයට කැඳවු අවස්ථාවේ අධිකරණ වෛද්‍ය වාර්තාව ලැබී ඇති බවත් ඒ අනුව මෙම තැනැත්තාගේ මරණය සිදුව ඇත්තේ පහරදීමට ලක්වීම හේතුවෙන් ලද තුවාල නිසා ශරීරයේ අභ්‍යන්තර රුධිර වහනය සහ කම්පනය නිසා බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර ඇතැයි යැයි මහේස්ත්‍රාත්වරිය දැනුම්දුන්නාය.
ඒ අනුව මෙම මරණය මිනීමැරුමක් බවට වෛද්‍ය නිගමනය වී ඇති නිසා ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන මේ මස 15 දින අධිකරණය හමුවට පමුණුවන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය.
මෙම සිරකරුගේ ඝාතනය සම්බන්ධයෙන් මේවනවිට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක්කර තිබේ.
අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්නේ ජේ නානායක්කාර