විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු ඝාතනයට එකම පවුලේ තිදෙනෙක් අද (22දා) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
එම සැකකරුවන් අතර පියෙක් සහ පුතුන් දෙදෙනෙක් වන බවත් පොලිසිය සඳහන් කරයි .
ඝාතනය සඳහා යොදාගත් කඩුවක් උල් පිහියක් වීදුරු බෝතල් දෙකක් මෙන්ම පොල්ලක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මාවිත්තර ගම්මාන වත්ත ප්‍රදේශයේ ඊයේ (21දා) සවස අධික වේගයෙන් යතුරු පැදියක් පදවමින් සිටි ප්‍රධාන සැකකරු අමතා ඝාතනයට ලක් වූ රියදුරු හෙමින් යතුරුපැදිය පදවන ලෙස පැවසීමෙන් අනතුරුව එයට උරණව සැකකාර තරුණයා සහ පවුලේ අය මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.
දෙහිවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණයාද ගැටුමේදී තුවාල සිදුවීම හේතුවෙන් කලුබෝවිල ශීක්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
ප්‍රධාන සැකකරුගේ පියා සහ සහෝදරයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු බහුතරයක් සැකකරුවන් ඝාතනය සිදුවී පැය 12ක් යාමට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා පැවසීය.
එම ඝාතනය සඳහා ප්‍රධාන සැකකරුගේ මව එමෙන්ම තවත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි ද ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.