බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු ඊයේ (21) සවස පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි කැස්බෑව පොලීසිය සඳහන් කරයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැස්බෑව මාවිත්තර ගම්මාන වත්ත පාරේ පදිංචිව සිටි කණිෂ්ක ගයාන් නමැති හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකි
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිටින් ඇති මාර්ගයේ ඊයේ සවස තරුණයකු විසින් අධික වේගයෙන් හඬ නංවමින් යතුරුපැදියක් ඒ මේ අත ධාවනය කර ඇති අතර මාර්ගයට පැමිණ තිබූ මියගිය රියදුරා එම තරුණයාට " පුතා යනුවෙන් අමතා මාර්ගය පටු නිසා ටිකක් හිමින් යන ලෙස" පවසා තිබූ බව පොලිසිය සඳහන් කරයි
එයට උරණ වී ඇති එම තරුණයා එම ප්‍රදේශයේම පිහිටි ඔහුගේ නිවසට ගොස් තවත් පිරිසක් සමග පැමිණ පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
ඝාතනයට ලක්වූ රියදුරාගේ නිවස ආසන්නයේ මාර්ගයේ මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය කිය. බරපතල තුවාල ලද රියදුරා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමත් සමගම මියගිය බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
පපුව සහ උදර ප්‍රදේශයේ තියුණු ආයුධ ප්‍රහාර දක්නට ලැබෙන බවත් රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. ඝාතනයට සම්බන්ධ පිරිස් සොයා පොලිසියේ ඊයේ 21 රාත්‍රී එම ප්‍රදේශයේ නිවෙස් කීපයකට ගියද ඔවුන් ප්‍රදේශය හැර පලාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සාරනාත් සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලින්ග අභයරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි