බ්ලැක්සෑන්ඞ් කියන කොම්පැනියට අධික මිලකට ඉදිරි වසර පහට ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරයක් දීමට විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ක්රියාකළේද? නැද්ද? යන්න පිළිබඳව වහාම සොයා බැලීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන ලෙස තමන් ජනාධිපතිවරායගෙන් ඉල්ලා සිටින්නේ යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (29දා) ඇඹිලිපිටියේ දි පැවසූහ.
ඔහු එම විමර්ශනයෙන් වැරදිකරු වුවහොත් වහාම විදුලිබල හා බලශක්ති ඇමතිධූරයෙන් ඉවත්කර එම තනතුරට වෙනත් පුද්ගලයෙක් පත්කරන ලෙස ද සෝභීත හිමියෝ මෙහිදී ඉල්ලා සිටියහ. එසේම තමන් වහන්සේ කියන්නේ බොරුවක් බවට එහිදී ඔප්පු වුවහොත් දෙන ඕනෑම දඬුවමක් බාරගැනීමට තමන් වහන්සේ සුදානම් බවද උන්වහන්සේ එහිදි අවධාරණය කළහ.
ලංකාවට ගල් අඟුරු ගෙන ඒමට ප්‍රමාද වුයේ සහ විදුලි මිල වැඩිකිරිමට හේතුවූයේ, විදුලිය කපා හැරීමට සිදුවුයේ තමන්වහන්සේ බවට තමන්ගේ නම සඳහන් කරමින් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අපහාසාත්මක සහ උපහාසාත්මක ලෙස කරුණු දක්වමින් ජනතාව නොමග යැවිමට ගෙනයන උත්සාහයට පිළිතුරු දෙමින් මෙසේ අදහස් දක්වන බව ද කීහ.
"විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා පසුගිය ඔක්තොම්බර් මාසේ අගභාගයේ දී බ්ලැක් සෑන්ඞ් කියන කොම්පැනියෙන් වැඩි මිලට වසර පහක කාලයක් ගල් අඟුරු ගෙන්විමට ටෙන්ඩර් දෙන්න උත්සාහයක් ගත්තා. ඒක අපේ රටේ ජනතාවට රටට විශාල පාඩුවක් සහ අලාභයක් ගෙනදෙන සිද්ධියක්. භික්ෂුවක් විදියට මම ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මගේ පෙත්සම නොවැම්බර් මාසේ විභාගයට ගන්න අධිකරණය දින ලබාදුන්නා. ඒනිසා විදුලිබිල වැඩිකිරීමට සහ විදුලිය කැපීමට හේතු වුයේ මම අධිකරණයට ගිය නිසා බවට වැරදි මතකයක් ජනතාව අතර පතුරුවන්න උත්සාහ කරනවා.
යුක්රේන යුද තතත්වය නිසයි ගල් අඟුරු මිල ඉහළ ගිහිං තියෙන්නේ. ඉදිරි කාලයේ මේ වාතාවරණයනක් වෙනස් වෙනන පුලුවන්. දීර්ඝ කාලයකට එහෙම වැඩිමිලට ගල් අඟුරු මිලදී ගැනීමට යාම රටට ලොකු පාඩුවක්. ඒ නිසයි මම අධිකරණය ගියේ. දැන් ඒ ගිවිසුම අවලංගු කරන්න ඇමතිවරයා තීරණය කරලා. ඔහු එය අවලංගු කළේ වැරදියට එහෙම කළ නිසා.
නැත්නම් ඔහුට අධිකරණය හමුවට ඇවිත් කරුණු දක්වන්න තිබුණා. ගිවිසුම අවලංගු කරලා මට පොදුවේ දෝෂාරෝපණය කරන්න පටන් අරං. අපි විරුද්ධ වුනේ ගල් අඟුරු ගේනවට නෙවෙයි. ගල් අඟුරු මුවාවෙන් කරන්න ගිය මහා වංචාවටයි.
ඔහු කියනවා අපි කළේ මහ වැරුද්දක්. ඒනිසා රටට මහා ව්‍යසනයක් වෙන්න යනවා කියලා ඔහු ප්‍රචාරයක් ගෙනියනවා. එයින් ඇත්ත වශයෙන් ම කියවෙන්නේ මොකක්ද? අමාත්‍යවරයා කියන්නේ අපට අවශ්‍ය විදියට වංචනිකව, හොර ජාවාරම් කරන්න ඉඩදෙන්නේ නැත්නම් බලාපල්ලා අපි රටටම දඬුවම් දෙනවා කියලා. අපි විරුද්ධ වුනේ ගල් අඟුරු ගේනවට නෙවෙයි. ගල්අඟුරු මුවාවෙන් කරන්න ගිය මහා වංචාවටයි. ඒ වංචාවේ කොටස්කාරයෙක් බවට කංචන විජේසේකර අමාත්‍යවරයා පත්වෙලා තියනවා. මේකට සම්බන්ධ චරිත රාශියක් තව තියනවා. ඇමතිවරයා කියනවානම් අපි ඒවාත් හෙළිදරව් කරන්න සූදානම්.
ඒ නිසා මම ජනතාවට දරුණු දක්වන්න ඕනෑ. මම ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දුන්නා මේ කාරණය සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරලා කඩිනම් විමර්ශනයක් කරන්න කියලා. රටේ මිනිස්සු හිතාවි සෝභිත හාමුදුරුවෝ නිසයි රටට විදුලිය නැත්තේ කියලා. කංචන ඇමති බ්ලැක් සෑන්ඞ් කොම්පැනියට වැඩිමිලට ගල් අඟුරු ගෙන්වන ටෙන්ඩරය දෙන්න හැදුවේ ද නැද්ද යන්න වහා හොයා බලන්න.
එසේ උත්සාහ කළා නම් ඔහු වැරදියි. වහාම ඔහුට දඬුවම් දෙන්න. ජනතාවගෙන් පළිගැනීමේ කුමක් හෝ වෛරී චේතනාවෙන් ක්‍රියාකාරන බව පෙනෙන කාංචන ඇමතිවරයා වහාම ඇමතිකමින් ඉවත් කළයුතුයි. විශේෂඥ උපදෙස් පිළිගන්න, ජනතාවාදී අදහස් ඇති ජනතාවට වගකියන සුදුස්සෙක් මේ පදවියට අවශ්‍යයි. ඇත්ත ඇති සැටියෙන් සිදුවුයේ කුමක්දැයි කියලා ජනතාවට හෙළිකරන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මම වැරදිනම් දෙන ඕනෑම දඬුවමක් බාරගන්න මම සුදානම්."
