පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුහු සඳහන් කළහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (03) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී වෘත්තිය සමිති නියෝජිතයෝ මේ බව පැවසූහ.
අපේක්ෂිත වැඩ වර්ජනය, සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කෙරෙන්නක් බව වෘත්තිය සමිති නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබීය.
පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම මෙම වැඩ වර්ජනයේ අපේක්ෂාව වේ. එම නිසා තත්ත්වය නිසි ලෙස තේරුම් ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලු සේවකයන්ගේ යුතුකම සහ වගකීම බව වෘත්තිය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ක්‍රමවේදයන්ට යොමුවීමේ සහ දේශපාලන භේද වලින් ඉවත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම මේ පිටුපස ඇති දේශපාලන අරමුණ වේ. එය වටහා ගෙන ආයතන බිඳ වැටීමට ඉඩ නොතැබිය යුතු බව ජනපතිවරයා පැවැසීය.
පසුගිය 28 වැනිදා පැවති වැඩ වර්ජනය නොතකා රාජකාරිය ඉටු කළ සේවකයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා පවතින තත්ත්වය වටහා ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුම වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටියේය.