රටට විශාල ආදායමක් ගෙන දෙන ඇඟලුම් ක්ෂේත්රය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග හඳුනාගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඇගලුම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු විසඳීම හා ක්ෂේත්රයේ නිරතවූවන්ගේ රැකියා සුරක්ෂිතතාවයට බලපා ඇති අහිතකර බලපෑම් හඳුනාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති
ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ලේකම්වරයා විසින්මෙම උපදෙස් ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟලුම් ක්ෂේත්රය ප්රමුඛස්ථානයක් ගනී. ක්ෂේත්රය තුළ මතුව ඇති පසුබෑම මගහරවා ගනිමින් එහි උන්නතියට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර තරඟකාරී වෙළෙඳපොළ ඉලක්ක ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ලේකම්වරයා පැහැදිළි කළේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදේශ විනිමය සහ අමුද්‍රව්‍ය ආශ්රිත ගැටලු ක්ෂේත්රයේ කටයුතුවලට බලපා ඇති ආකාරය මෙහිදී විශේෂ අවධානයට ලක් විය.රට මුහුණදී ඇති මෙම අභියෝගකාරී අවස්ථාවේ ඇඟලුම් ක්ෂේත්රය ආරක්ෂා කර ගනිමින් එහි උන්නතියට ගත හැකි සියලු පියවර ගැනීමට කැපවන බවට ක්ෂේත්රයට සම්බන්ධ රාජ්‍ය අංශ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වූහ.
මේ සම්බන්ධයෙන් වන කඩිනම් විසඳුම් හා යෝජනා තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැන්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සූදානම් බව ද පැවසීය.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටි. ජයසුන්දර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ භාණ්ඩාගාර අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් සරත් කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු රේඛීය අමාත්‍යාංශ රැසක ලේකම්වරු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ශ්‍රී ලංකා වාණිජ්‍යය මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දස්වාමි, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශිරාන් ප්‍රනාන්දු යන මහත්වරු
හා “ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ” ප්‍රධාන නිලධාරීන් සහ ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය නියෝජනය කරමින් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.