මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සදහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අනුකමිටුවක් පත්කිරීමට ඊයේ (10දා) පැවති ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය කෙරිණි.
කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.
කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යාංශ මෙන්ම එම අමාත්‍යාංශ යටතේ ඇති අනෙකුත් ආයතනවල නිලධාරීන් මෙම රැස්වීමට කැඳවා තිබූ අතර ආහාර සුරක්ෂිතතාවට අදාළ ඉලක්ක සපුරා ගැනීමට පවතින බාධා සහ ප්‍රතිපත්තිීන් වෙනස් විය යුතු ආකාරය පිළිබඳව මූලික යෝජනා පිළිබද මෙහිදී සාකච්ඡා විය.
මෙම ආයතන වෙනම තම ඉලක්ක සපුරා ගැනීමට උත්සහ කිරීම වෙනුවට සියලු ආයතන සමග ඒකාබද්ධ ප්‍රවේශකට අවතීර්ණ වීමේ අවශ්‍යතාව කමිටු සභාපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
මේ අනුව කෘෂීකර්ම සහ ධීවර යන අමාත්‍යාංශවලට අමතරව වාරිමාර්ග අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු ආයතන සමග ඒකාබද්ධව මෙම ප්‍රතිපත්ති සැලසුම් කරන ලෙසද වැඩිදුරටත් කමිටුව උපදෙස් ලබා දෙන ලදී.