ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති එයි
ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල හානිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් තෙදින නිල සංචාරයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සභාපතිවරයාව පිළිගන්නා ලදී.
මේ අතර ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත අතර, කොළඹදී පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට සහභාගී වීමටද නියමිතය. එමෙන්ම Masato Kanda මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලය (SLRM) වෙත යාමටද නියමිතව තිබේ.
හෙට (24) දින සභාපතිවරයා ඇතුළු දූත පිරිස "දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය. මීට අමතරව, සුළි කුණාටුවෙන් පීඩාවට පත් අම්බලන්කන්ද ප්‍රදේශයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත අතර එහිදී ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, සිදුව ඇති හානිය සෘජුවම දැක බලා ගැනීමටත් සැලසුම් කර ඇත.
අනතුරුව ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට නියමිතය. මෙම හමුවේදී ආර්ථික පුනර්ජීවනය, සංවර්ධන මූල්‍යකරණය සහ ශ්‍රී ලංකාව හා ආසියානු සංවර්ධන බැංකුව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සමඟ එහි දකුණු ආසියානු කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් Sona Shrestha, සභාපති කාර්යාලයේ ප්‍රධාන උපදේශක Keiichiro Inui, සභාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Manisha Pradhananga යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

