ආසියානු සංවර්ධන බැංකුවෙන්ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීම සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර තිබේ.
මෙම සමස්ත මූල්‍ය පැකේජය, සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ලබාදෙන ඩොලර් මිලියන 100ක සාමාන්‍ය ණයක් සහ තවත් ඩොලර් මිලියන 100ක සහනදායී ණයකින් සමන්විතය. මීට අමතරව, අදාළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සූදානම් කිරීම සහ ඒවායේ ගුණාත්මකභාවය සහතික කිරීම ශක්තිමත් කිරීම සඳහා ඩොලර් 500,000ක තාක්ෂණික ආධාර ප්‍රදානයක් ද මෙයට ඇතුළත් වේ.
‘දිට්වා සුළි කුණාටු පසුකාලීන ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන හරහා, අනාගතයේදී ඇතිවිය හැකි මෙවැනි ස්වාභාවික ව්‍යසනයන්ට වඩාත් සාර්ථකව ඔරොත්තු දිය හැකි පරිදි ‘වඩාත් ශක්තිමත්ව නැවත ගොඩනැඟීමේ’ (Build-Back-Better) මූලධර්ම ක්‍රියාවට නැංවීමට නියමිතය.
මෙමඟින් කුණාටුව නිසා හානියට පත් වූ ජාතික සහ ග්‍රාමීය මාර්ග, බෑවුම් ස්ථායීකරණය සහ කානු පද්ධති දියුණු කරමින් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි නැවත සකස් කෙරේ. එමෙන්ම විනාශ වූ වැව්, ඇළ මාර්ග ඇතුළු වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් ගොවීන්ට නැවත වගා කටයුතු ආරම්භ කිරීමටත්, පියවරෙන් පියවර මූල්‍ය ආධාර ලබා දෙමින් විනාශ වූ නිවාස වඩාත් සුරක්ෂිතව නැවත ඉදිකර ගැනීමටත් අවශ්‍ය ප්‍රතිපාදන සැලසේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
