කොටහේන මෝදර අලුත් මාවත පාලම අසල ප්රදේශයේ දි ඊයේ (03) අලුයම ලේලන්ඩ් පුද්ගලික බස් රථයක් හදිසියේ ගිනිගැනීමකට ලක්වී සම්පූර්ණයෙන් විනාශ ඇති බව කොටහේන පොලිසිය පවසයි.
"ආලවන්ති ගෝල්ඩන් ප්රින්සස්" නැමති කාගේත් ජනාදරයට පාත්ර වූ මෙම පුද්ගලික බස් රථය කැලණිය ප්රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවත් නුවර බලා වන්දනා ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් රැගෙන ඒමට මෝදර ප්රදේශයට අලුයම 05.00 ට පමණ පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
බස් රථය මෝදර අලුත් මාවත ප්රදේශයේදී, අතරමඟ නවතා රියදුරු සහ රිය සහායකවරයා තේ පානය සදහා අසල පිහිටි ආපනශාලාවකට ගිය අවස්ථාවේදී එකවරම බස් රථය තුලින් විශාල දුමාරයක් සහිතව ගිනි ගන්නා ආකාරය දැක ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
කලබලයට හා භීතියට පත් රියදුරු සහ කොන්දොස්තරවරයා මෙන්ම වරාය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යුහු සුළුව ක්රියාත්මක වී කොටහේන පොලිස් ස්ථානයට හා ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවත් ආසන්නයේ සිටි සියලු දෙනා එක්ව ගින්න නිවා දැමීමට උත්සහ කලද එය කිරීමට නොහැකි වී ඇති බවත් පොලිසිය පවසයි.
එම ස්ථානයට පැමිණි කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවට අයත් ගිනි නිවීමේ රථ දෙකක් පැමිණ ගින්න මැඩ පැවැත්වීම සිදුකළ බවත් පොලිසිය පවසයි.
ගින්න මැඩ පවත්වන විටත් බස් රථයට දැඩි ලෙස පිලිසී අලාභ හානි වී තිබූ බවද පොලිසිය පැවසීය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හෝ යම් පුද්ගලික මතභේදයක් මත කිසියම් පුද්ගලයෙක් විසින් බස් රථයට ගිනි තබන්නට ඇති බවට සැක පහළ කරන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කැඳවා පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොටහේන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි


